-->

Monday, March 26, 2012

සංවේදී

මම ඔබට නාඬන්න යැයි කියමි

ඈ යන්න ගියා මැකිලා


උගතා නූගතා සේ ඉදිද්දී නූගතා උගතා වන සමාජ ක්‍රමයක සැබෑ උගතකු වශයෙන් බොහෝ දේ අහිමි වුණු යෞවනයන් අතර මමත් එක් යෞවනයෙක්මි. මගේ උගත්කමට මට හිමිවුණු සුන්දර දෙයක් වේ නම් ඒ මගේ සරසවි ජීවිතයේ මට හිමිවුණු සුන්දර අවිහිංසකාවිය පමණමයි. එහෙත් පවතින සමාජ ක්‍රමයේ ආකල්ප මත ඇය ද මට අහිමි විය.
ස්ථිර රක්‍ෂාවක් නැති තැනින් තැනට යන ටියුෂන්කාරයකුට අනුත්තරාව දෙන්න එයාගේ අම්මා අකැමති වුණේ මම කැම්පස් ‘අවුට්’ වෙලා අවුරුදු දෙකක් ගත වුණ විට යි. මගේ උගත්කමට සරිලන රස්සාවක් කවදා හරි ලැබෙයි කියන මතයේ අනුත්තරා හිටියත් අම්ම නම් නිතරම කියලා තිබුණේ හැරමිටියෙන් ගත කිරීමට සුන්දර ජීවිතයක් අවශ්‍ය නොවන බවයි.
ඒත්... අවසානයේ දී අනුත්තරා මාව දාලා ගියා. එයාගෙ වෙඩින් එක දවස... මං ඒ ගැන කියන්න කැමති නැහැ. මං ඒ දවස මතක් කරන්නවත් කැමති නැහැ. එදා ඉඳල මගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක් ම බිඳ වැටුණා. මං වෙනද වගේම මගේ පාපැදියෙන් ‘ක්ලාස්’ කරන්න ගියා. ඒත් කිසිම කැමැත්තකින් නොවේ, ඒ වෙනකොට මගේ ආර්ථිකය හොඳටම කඩා වැටිල තිබුණේ. ආර්ථිකය හොඳටම කඩා වැටුණත් මගේ හිතට කිසිම දුකක් ඇති වුණේ නැහැ. බලාපොරොත්තුවක් නැති ජීවිතයට මොනවා වුණත් කමක් නැහැ කියලා මට හිතුණා.
ඔය අතරෙදි අනුත්තරා මගේ නමට ලිපියක් එවා තිබුණා. අනුත්තරා, සංජුක කියන නම් දෙක සදහටම නම් දෙකක් මිස ආයෙත් කවදාවත් ම එකට එකතු වන නමක් නෙවේ රත්තරං... මට සමාවෙන්න... මං අනු”
ටියුෂන්වලට ‘නෝට්ස්’ හදන්න... ‘පේපර්’ කරන්න මනස වෙහෙසන්න මට ශක්තියක් තිබුණෙ නැහැ. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියමනටත් හිතින් වෛර කරපු මං මතු රැකෙනා ශිල්පයමයි උගත මනා කියලා හිතලා උගත්කම පැත්තකට දාලා ගරාජ් වැඩපොළකට ගියා. ‘මජං’ ගාගෙන වාහනයක් යට ඉන්නකොට මට ආයෙත් ජීවිතේ ලැබුණා කියලා හිතුණා. ඒත් වැඩපොළේ දී මගේ අතින් වුණු සුළු වැරැද්දකට වැඩපොළට ලොකු අලාභයක් වුණා. මට එතනින් රස්සාව නැති වුණා.
ඉබාගාතේ ඇවිදලා මං ආයෙමත් ගම අතහැරල වෙනත් නගරයකට ගිහින් ටියුෂන් පටන් ගත්තා. කිරෙන් කාලා තෙලෙන් අත හෝදන නගරයක මං නොහිතපු විදිහට ආර්ථිකය ශක්තිමත් වුණා. දවසින් දවස ‘ක්ලාස්’වලට ළමයින් පැමිණෙත්දී මම ආයෙමත් ජීවිතේ දකින්න පටන් ගත්තා. ටියුෂන්වලට මං අය කරපු මුදල්වලට සාධාරණය ඉටුකරන්න මං කැපවුණා. ඒ මගේ කැපවීමට මං හිතුවාටත් වඩා ප්‍රතිඵල ලැබුණා. අද මං මේ පළාතේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක්. ඔය අතරෙදී මං ගුරු විභාගයෙන් සමත් වුණා. මොනව වුණත් අනු පිළිබඳ මතකය මට වරින්වර මතක් වුණා. මං ඉගෙන ගත් සරසවිය ළඟින් දිනකට කීප වතාවක් එහාට මෙහාට යන්නට වීමම මගේ හිත තව තවත් තුවාල කිරීමට හේතුවක් වුණා. ඒත් දවසක් හරි පුදුම දෙයක් වුණා.
නව ගුරු පත්වීම භාර ගත්තට පස්සෙ අහම්බෙන් පුංචි දරුවන්ගේ පන්තියක ඉගැන්වීම් කටයුතුවලට මට යන්න වුණා. මං ඒ කුඩා දරුවන්ට උගන්ව උගන්ව ඉන්න කොට දැකපු දසුනකින් මගේ හිත හරියට නොසන්සුන් වුණා. මගේ හිත නොසන්සුන් කළ අනුත්තරාගේම මුහුණ අඹල තිබුණු ඒ පුංචි පුතාව නැගිට්ටල මං එයාගෙ නම ඇහුවා.
“අනුත්තර සංජුක”
ඒ පුංචි පුතා එක වරම උත්තර දුන්නා. මං තිගැස්සුණා. සඟවා ගත් කඳුළු අතරින් මං අම්මගේ නම ඇහුවා.
‘අනුත්තරා’
තාත්තගෙ නමත් මං නිකමට ඇහුවා.
“අමන්ත තිසාසේකර”
“පුතාව එක්කගෙන යන්න අද අම්මා ඉස්කෝලෙ ළඟට එනවද?” මං හරි උද්යෝගයෙන් ඒක ඇහුවේ.
පුතා උත්තර දුන්නෙ නැහැ..... ‘නෑ’ කියලා ඔළුව වැනුවා විතරයි.
“ඇයි ඒ?” මං ආයෙත් ඇහුවා.
“අම්මා නැති වුණා”
“නැති වුණා!
මං වෙන වචනයක්වත් ඇහුවෙ නැහැ... අවුරුදු 34 ක් පුරාවටම දුක් විඳපු කෙනෙක් විදිහට තවත් මට විඳවන්න හදවතක් තියෙනව ද කියලා මං දන්නෙ නැහැ. සංජුක, අනුත්තරා කියන නම් දෙක ආයෙත් කවදාවත් එකතු වන එකක් නැහැ. ඒ නම් දෙක නම් දෙකක් විතරමයි.
එහෙම කියපු එයා ඒ නම් දෙක ආයෙත් එක් කරලා යන්නම යන්න ගිහින් සදහටම.... ඔව් සදහටම...

7 comments:

  1. මාර කතාවක්නේ බන්.. හරිම සංවේදියි..

    ReplyDelete
  2. හරිම සංවේදී කතාවක්...

    ReplyDelete
  3. මෙහෙම දේත් කොච්චරවෙනවා ඇත්ද?

    ReplyDelete
  4. ඇඟ හිරිවැටිලා. හිරි ගඩු පිපුනා.. මාරයි.. උඹට.. ජයෙන් ජය..

    ReplyDelete
  5. සිරාවටම බොක්කටම වදින කතාවක් ....

    ReplyDelete
  6. මාරම කතාවක් අයියේ.... මට සෑහෙන්න හිතට වැදුනා.මම පහුගිය ලිපිත් කියවලා ආවේ... ලංකාවේ ඉන්න නංගිගේ විවාහයට අයියා කෙනෙක් කතාවක් ලියලා ඉල්ලපු හැටිත් ඒ කතාවත් මාර සංවේදියි....

    මගේ බ්ලොග් එකට ඔයා දාපු කොමෙන්ටුවක් හරහා මේ හොයාගෙන ආවේ... දිගටම එමි.මේ මගේ මුල්ම පැමිණීමයි...

    ජය වේවා අයියේ දිගටම ලියන්න

    ReplyDelete
  7. මම හිතුවේ ඔයාගේ අත්දැකීමක් කියලා. තමන් පෙම් කළ කෙනෙක්ගේ වියෝව ඇත්තටම වේදනාවක් තමා

    ReplyDelete