-->

Tuesday, September 12, 2017

Desertfrog brother of wellfrog

ලිං  මැඩියා කියල කිව්වෙ මේ ලොකේ දෙයක් නොදන්න එකාටනෙ....
මේකා උගේ සහෝදෙරයෙක් වගේ..... ඩෙසට්ෆ්‍රොග් කියල සතෙක් මේ ලෝකෙ නැති උනාට සෑහෙන කාලෙකට ඉස්සර ලංකාවෙ ඉඳල
වාලුකා කාන්තාරෙට තල්ලු වෙච්චි එකෙක්  ඔ‍ටුවෙක් වගේ වේලි වේලි ඉඳලාම දැන් වැලිමැඩියෙක් කියන තත්වෙට පරිවර්තනය වෙලා
ඔන්න දැන් යාන්තම් ජාලෙට රිංග ගන්නට ඔට්‍ටු වෙනවා
සෑහෙන කාලෙක ඉඳල මේක වටේ කරකැවි කරකැවි ඉඳල ටික ටික හොයාගත්තු දේවල් එකතු කරගෙන තමයි ඔලුව දාන්න
තැනක් හොයාගෙන තියෙන්නෙ........
මේකෙ ඉන්න දලකාරයො එහෙ තියෙන ආයුධවලින් ගහල මේ ගෙම්බව චප්ප කරල දායිද දන්නෙත් නෑ....
එක එකාගෙ ගුබ්බෑයම් අස්සෙ රිංග රිංග බැලුවාමනම් පෙනුනෙ හරිම අවංක සංවේදී කට්ට්යක් එක්කාසුවෙලා
ඉන්න හැටි... මේ ගෙම්බටත් හරියට ආස හිතුන ඒ අය අතරට රිංග ගන්නට ඇත්නම් කියල.....

Prolonged debate over duty free vehicle permits for SL expat workers

Prolonged debate over duty free vehicle permits for SL expat workers


Prolonged debate over duty-free vehicle permits for SL expat workers

View(s):

The Finance Ministry is weighing the pros and cons over the issuance of guidelines and the relevant circular to implement the duty-free vehicle permit scheme for Sri Lankans working overseas, official sources revealed.
Former President Mahinda Rajapaksa’s 2015 Budget proposed concessionary permits similar to those given to public servants to Sri Lankans working abroad to import a motor vehicle limited to 60 per cent of the foreign exchange they remit to Sri Lankan banks.
A senior Treasury official told the Business Times that the Ministry has to close each and every loophole in the procedure before issuing these permits in order to prevent any abuse.
The trade and tariff division of the Finance Ministry has to determine as to whether all Sri Lankans working overseas are eligible for the scheme or a certain section of employees like professionals or whether there should be a ceiling on foreign exchange remittances, etc.
Chairman of Ceylon Motor Traders Association Gihan Pilapitiya told the Business Times that they were waiting to see the relevant circular which has to be issued by the ministry soon to implement the budget proposal.
He noted that many Sri Lankan expatriates are inquiring from motor traders about the scheme.
Overseas Sri Lankans have also been inquiring about the scheme as the authorities have not taken any action to implement a proposal that was approved six months ago.
In an e-mail to the Business Times, Asoka Rupasinghe former chief accounting officer of the Bank of Ceylon, now serving in the Middle East noted that Sri Lankan exporters have been given a plethora of incentives but nothing has been given to expatriate workers who contribute over 40 per cent of the country’s foreign exchange revenue.
“What happened to this (duty-free) scheme? Why hasn’t the new government given this incentive”, he asked.
Other sources said the Governor’s return is likely to be connected to the preparation and release of the Central Bank’s annual report for 2014, which is already delayed.
In the past few years, the report has been released in the week before the Sinhala and Hindu New Year.
Souce;- http://www.sundaytimes.lk

Sunday, November 11, 2012

තවත් මුන්ටම දෙනවද ?

ගත වූයේ තවත් නිමේෂයකි. යතුරු පැදියේ ගමන් කරමින් සිටි ගාල්ලේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කුමාර සෙනෙවිරත්න හෙවත් දංගෙදර කුමාර "දඩාස්‌" හඬින් අවට දෙදෙරවමින් එක්‌වරම ගාල්ල ඩික්‌සන් හන්දිය මැද මහා මාර්ගයේ ඇද වැටුණේ කිසිවකුටත් කිසිත් සිතා ගැනීමටවත් නොහැකි ලෙසිනි.

කුමාර එසේ ඇද වැටෙත්ම ඒ ගිනි දහවලේ ගාල්ල ඩික්‌සන් හන්දියේ උන් දෙනෝ දාහක්‌ මිනිසුන් අතරින් කිහිප දෙනකු ඔහු නැගිටුවීමේ අදහසින් ඒ වෙත යැමට සැරසුණා පමණි. එකෙනෙහි තියුණු කඩු දෙකක්‌ සහ දැවැන්ත මුගුරක්‌ අතින් ගත් සිව් දෙනකු කුමාරගේ යතුරු පැදිය ආසන්නයේ වූ වෑන් රථයක සිට මාරාවේෂ වූවන් සේ බිමට පනිනු ඔවුන් දුටුවේය. ඒ සමගම සියල්ලෝ ගල් ගැසුණාක්‌ මෙන් හිටි තැනම නතර වූහ.
වෑන් රථයේ සිට බිමට පැන්නේ අද දකුණේ පාතාලයේ රජයන තවත් නරුමයන් රොත්තක්‌ වූ කනන්පිටිය ටයිටස්‌ කල්ලියේ කෙරුමන් ලෙස ප්‍රකට පෝනි සුරංග, ෂයිනි, රත්ගම පැතුමා හෙවත් තඩී සහ බංගලියද්දේ ජානක බව ඒ මොහොතේ එහි සිටි ඔවුන් හඳුනන්නෝ කවුරුත් පැහැදිලිවම දුටහ. මාර සේනාව බිමට බැසීමත් සමග වෑන් රථය පිම්මේ ඉදිරියට යන්නට විය.

එසේ ඉදිරියට ගිය රථයේ කනන්පිටියේ ටයිටස්‌ ඇතුළු තවත් හත් අටදෙනකුම සිටිනුද සමහරු දුටහ.ඒ සමගම සිදු වන්නට යන්නේ මහා අපරාධයක්‌ බව වටහා ගැනීමට අවට සිටියවුන්ට වැඩි ආයාසයක්‌ දැරිය යුතු නොවිනි. මේ අතරේ නරුමයන් අත වූ තියුණු අවි දුටු ඇතැමෙකු බියෙන් සලිතව හිස හැරුණු අතේ දිව යන්නටද විය. සිත් දැඩි වූවෝ නැගෙන භීතිය පසෙකලා සිදු වන්නේ කුමක්‌දැයි බැලීම සඳහා අසළ කඩපිළකට වැදී දැස්‌ අයා සිටින්නට වූහ.යතුරු පැදියෙන් ඇද වැටුණු කුමාර ඒ වන විට සිටියේ යළි නැගී සිටින්නට සැරසෙමිනි. එහෙත් එය නිරර්ථක උත්සහායක්‌ම විය. කුමාරගේ සූදානම දැක යක්‍ෂයකු සේ ඔහු වෙත දිවගිය රත්ගම තඩියා අතවූ තියුණු කඩුවෙන් මාර ප්‍රහාරයක්‌ ඔහුගේ වම් පාදයට එල්ල කළේය. ඒ සමගම පාදය වළලුකර අසළින් වෙන්වී පසෙකට විසි වූයේ කුමාරට මරණයේ බියකරු බව සිහි ගන්වමිනි.

සැණෙන් කුමාර යළි බිම ඇද වැටුණේය. තඩියා එසේ ප්‍රහාරය අරඹත්ම කලක සිට කළ සැළසුමකට අනුව ක්‍රියාත්මක වෙමින් සිටි ඉතිරි නරුමයෝa තිදෙනාද ගොදුර වටකොට සිටියහ. මේ අතරේ එකම පහරකින් කුමාරගේ පාදය සිරුරෙන් වෙන් කළ තඩියා වියරු සිනහවක්‌ නගමින් යළි කඩුව ඔසවන්නට වූයේ තවත් ප්‍රහාරයකට සැරසෙමිනි.
එහිදී රත්ගම තඩියාගේ සූදානම දුටු ගාල්ල කනන්පිටිය පාතාලයේ බිහිසුණුම යක්‍ෂයා සේ ප්‍රකට පෝනි සුරංග කළේ ඒ වන විටත් පාදය වෙන් වීමේ වේදනාවෙන් බිම වැටී දඟලමින් සිටි දංගෙදර කුමාරගේ දකුණු අත අඹරවා ඉහළට ගෙන තඩියා වෙත පෑම විය.

සැණෙන් තඩියා අතවූ කඩුව වේගයෙන් කුමාරගේ දකුණු අත හරහාද ඇදී ගියේය. ඒ පහරත් සමග උරහිස අසළින් වෙන්වූ කුමාරගේ දකුණත පෝනි සුරංගගේ දැතේ සිරවිය. උසුලාගත නොහැකි වූ වේදනාවකින් කුමාරගේ සිරුර හිරි වැටී යද්දී හේ යළි බිම ඇද වැටිණි. යක්‍ෂාවේෂ වූ ගහලයන් එක්‌ව ඒ දහවලේ පණැති මිනිසෙකුගේ දැත් දෙපා එසේ සිරුරින් වෙන් කරද්දී එතෙක්‌ දැස්‌ අයා ඒ දෙස බලා සිටි ඇතැමෙකු සැණෙකින් දෙනෙත් දැතින් තද කර වසා ගත්තේ නෙත ගැටෙන කුරිරු දසුන තවත් බලා සිටිය නොහැකි වූවාක්‌ පරිද්දෙනි. ඒ අතරේ එළැඹි නිමේෂයේ බිම වැටී දඟලන කුමාරගේ පපුවට පාදයක්‌ තැබූ පෝනි සුරංග කුමාර ගෙල පැළඳ සිටි රන් දම්වැලද කඩා ගනිමින් යමක්‌ පවසන අයුරු කාටත් පැහැදිලිව ඇසෙන්නට විය.

"තොට මතකද යකෝ.. උඹ ගෝලයොත් එක්‌ක එකතු වෙලා අපේ රතුමහත්තයව සරෙන්තු කඩේ හන්දියේදි කෑලිවලට කැපුවා. ඒ වගේ තමයි අද තෝවත් ඉවර කරන්නේ.. පෝනි සුරංගට කීමට ලැබුණේ එපමණකි. ඊළඟ මොහොතේ බිම වැටී වේදනාවෙන් දඟලන කුමාරගේ හිසට තවෙකෙකු දැවැන්ත පොලු පහරක්‌ එල්ල කෙරුවේ ඔහුට කිසිත් සිතන්නටවත් ඉඩක්‌ නොතබමිනි.

එතැන් පටන් අවට සිටියවුනට ඇසෙන්නට වූයේ කොස්‌ කපන්නාක්‌ මෙන් මාරයන් අත වූ තියුණු කඩු "චහ්ක්‌.. චහ්ක්‌.. හඬින් කුමාරගේ සිරුර හරහා පතිත වන අයුරු විය. එසේ තවත් තත්පර කිහිපයක්‌ ගෙවී යද්දී අකුරටම ගොදුර ඩැහැ ගත් කනන්පිටිය පාතාල යක්‍ෂයෝ යළි පිටව යන්නට සුදානම් වූහ.

ඒද නිකම්ම නොව "තොපි දැනගනියව්.. මේක දැක්‌ක එකෙක්‌ හරි කට ඇරලා වචනයක්‌ කියලා තිබුණොත් තොපිලවත් කපන්නේ මේ විදිහට" යෑයි කියමින් අත වූ තියුණු අවි ඔසවා අවට සිටියවුන්ගේ ජීවිතවලටද ලන්සුවක්‌ තබමින්ය. එසේ මාරයන් පිටව ගිය පසු අවට සිටි පිරිස්‌ එල්ල වූ ප්‍රහාරයෙන් කැබැලිව ගොස්‌ බිම වැටී දඟලමින් සිටි කුමාර වෙත ළං වන්නට වූහ.
ඒ වන විටත් අතක්‌ හා පාදයක්‌ වෙන්ව ලේ විලක්‌ මැද වැටී ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදෙන්නට වූ කුමාර සිටියේ යළි නැගී සිටින්නට උත්සාහ දරමිනි. එහෙත් එසේ දඟලන සෑම වාරයක්‌ පාසාම හේ යළි යළිත් සිය සිරුරින් ගලා ගිය ලේ ගොඩ මතම පතිත වූයේ රැස්‌වූවන්ට මහා බියකරු දසුණක්‌ මවමින් විය.
හේ ඇද වැටුණේය. යළිත් ඒ රුධිර ගංගාවේ දඟලමින් නැගී සිටින්නට උත්සාහ දැරීය. එහෙත් මාර ප්‍රහාරයෙන් අඩපණ වූ ඔහුගේ සිරුර යළි යළිත් පතිත වූයේ ඉන් ගලා ගිය රුධිර ගංගාව මතටම විය. පව යනු මෙයමයි කාටත් පසක්‌ කරමින් කැපී සිරුරෙන් වෙන් වූ අත් පා නොමැතිව හේ නැවතත් එකී රුධිරය මතම දඟලන්නට වූයේ පිහිනන්නට තතනන අයකු මෙන් විය.
 මේ සටහන් වූයේ අද දකුණේ පාතාලයේ තවත් නමගිය කල්ලියක්‌ වන කනන්පිටියේ ටයිටස්‌ කල්ලිය විසින් මුළු ගාලු නගරය ඇතුළු අවට ගම්මාන ගණනාවක්‌ භීතියෙන් ගිනියම් කරමින් ඉකුත් ඔක්‌තෝබර් 25 වැනිදා මහ දවල් ගාල්ල පොලිසිය පෙනෙන මානයේ ඇති ගාල්ල ටයිටස්‌ හන්දියේදී දංගෙදර කුමාර නොහොත් කුමාර සෙනවිරත්න නැමැත්තා බිලිගත් අයුරු වන්නේය.
කුමාරගේ ඉරණම එසේ විසඳී තිබුණේ ගාල්ල පොලිසිය ආසන්නයේදීම විය. එහෙත් ගැටලුව ඇත්තේ ගාල්ල පොලිසිය ආසන්නයේදී මෙසේ මිනිසකු අමු අමුවේ කපා කොටා ඝාතනය කිරීමට තරම් අද දවසේ මේ කියන කනන්පිටියේ ටයිටස්‌ කල්ලිය කෙරුමන් වී සිටින්නේ කෙසේද යන්න විමසා බැලීමේදී වන්නේය. ඒ පසුපස ඇත්තේ කලක සිට මෙරට ක්‍රියාත්මක, නින්දිත ක්‍රියාමාර්ග ඔස්‌සේ යමින් ඉදිරියේදී මනාපයෙන් නොව පාතාලයේ පිහිටෙන් බලයට එන්නට සුදානමින් සිටින සහ පවතින දේශපාලන ශක්‌තිය සමග පාතාලය හා බද්ධවී අසික්‌කිත කමින් රට පෝෂණය කර "මල්ල කරේ" න්‍යායෙන් පරම්පරාවක්‌ ගොඩදාගන්නට දඟලන ගාල්ල පුරවරයේ මෙලෝ රහක්‌ නැති තුට්‌ටු දෙකේ දේශපාලනඥයන් තිදෙනකුගේ අනුහස බව අද මුළු ගාල්ලම කියන කථාවක්‌ වී ඇත්තේය.

මෙසේ නරුම දේශපාලනයේ අනුහසින් කෙරුමන් වී මහ දවල් ගාල්ල නගරයේදී දංගෙදර කුමාරව මරා දැමීමේ ටයිටස්‌ ක්‌ලියේ ප්‍රහාරය හමුවේ ඒ දිනයේ ගාල්ල නගරය ගිනියම් වූයේ ඇසුරු සැණෙකිනි. එහෙත් ඒ ගිනි නිවී යන්නට ඉඩ ලැබුණේද? නැත. එසේ භීතියෙන් ගිනියම් වූ ගාල්ලේ ජනතාව යළිත් වරක්‌ මහා භීෂණයකින් වෙව්ලුම් කන්නට වූයේ දංගෙදර කුමාර මරා දමා සතියක්‌ ඉක්‌ම යැමත් සමග සිදුවූ තවත් සමූහ ඝාතනයක්‌ සමගිනි.එහිදී සිදුවූයේ කුමක්‌ද? කනන්පිටියේ ටයිටස්‌ කල්ලියේ ඇතැමුන් සමග සමීපව ඇසුරු කළ ගාල්ල ඇත්තිලිගොඩ ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනකු වූහ. ඒ නමින් මොහොට්‌ටිගේ නිශාන්ත හෙවත් චූටි, නාවික හමුදා සෙබළෙකු වූ ජානක පුෂ්පකුමාර, ඇත්තිලිගොඩ මලිත් මධුසංඛ සහ වංචාවල අමිල නිශාන්ත ලෙසින් හැඳින්වුණු සිව් දෙනෙකි.

 ඉකුත් තුන්වැනිදා (සෙනසුරාදා) රාත්‍රියේ මෙකී තරුණයන් සිව්දෙනා අතරින් එකෙකු වූ නිශාන්ත හෙවත් චූටිගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වීම සඳහා අනෙක්‌ තිදෙනාද ඇත්තිලිගොඩ චූටිගේ නිවසට පැමිණියහ. සාදය පැවැතියේ චූටිගේ කුඩි දියණියගේ සිව් වැනි උපන්දිනය නිමිත්තෙනි.

පැමිණි මිතුරන් තිදෙනා සමග එක්‌ව සාදය අතරේ මධුවිත බිඳක්‌ තොල ගාන්නටද චූටි අමතක නොකළේය. හිටි හැටියේ එදින රාත්‍රියේ පොලිසියෙන් යෑයි කියාගත් පුද්ගලයකු වෙතින් ගාල්ල දක්‍ෂිණ නාවික කඳවුර අසළට පැමිණෙන ලෙස චූටිගේ ජංගම දුරකථනය වෙත ඇමැතුමක්‌ ලැබුණේ පිරිස මෙසේ මත්පැන් බිඳකින් සිරුරු සතපවා ගනිමින් සිටියදීය.එකී ඇමැතුමට අනුව මිතුරන් පිරිස ත්‍රිරෝද රථයකින් ඒ රැයේ ගාල්ල දක්‍ෂිණ නාවික කඳවුර අසළට යැමට පිටව ගියේය. ඒ සිය ජීවිතයේ අවසන් නික්‌ම යැම බව ඒ මොහොතේ ඔවුන් කිසිවකුත් නොදැන සිටියා නියතය. ගිය මිතුරන් සිව් දෙනා එකී රැයේ යළි නිවෙස්‌ වෙත නම් නොපැමිණියහ. එහෙත් ඒ රැය ගෙවී ගියේය.
මේ අතරේ ගාල්ල පුරවරය යළිත් භීතියෙන් මුසපත් වූ ඉහත කී කථාව රට පුරා පැතිර යන්නට වූයේ එසේ රැය ගෙවී පසුදාට (ඉරිදාට) පහන් වෙමින් තිබියදී විය. "පෝද්දල මහසොහොන් බෝක්‌කුව ළඟ හතරදෙනෙක්‌ වෙඩි තියලා මරලා දාලා.. කථාව පැතිරෙන්නට වූයේ එලෙසිනි.මේ සමගම පෝද්දල පොලිසිය ඒ ස්‌ථානයට ළඟා වූයේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහාය. මරා දමා තිබුණේ පෙරදා රැයේ නිවසින් පිටව ගිය ඇත්තිලිගොඩ චූටි ඇතුළු තරුණයන් සිව් දෙනා වූහ. ඔවුන් ඝාතනය කර තිබුණේ දැත් දෙපා සහ ඇස්‌ බැඳ හිසට වෙඩි තැබීමෙනි. එහෙත් ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මේ වන විටත් අබිරහසක්‌ව ඇත්තේය.

මෙම සිද්ධියත් සමග පොලිසිය පාර්ශ්වයෙන් කියෑවෙන්නට වූයේ ඝාතනය කෙරුණු තරුණයන් සිව් දෙනා අතර දංගෙදර කුමාර ඝාතනය සඳහා පැමිණියවුන් දෙදෙනකුද සිටින බැවින් එම ඝාතන කුමාර කල්ලියේ පිරිසක්‌ විසින් කරන්නට ඇති බවකි. මේ අතරේ එදින සවස්‌ වන විට දංගෙදර කුමාරගේ පුත්‍රයකු සහ ඥති පුත්‍රයකු සමග ඔහුගේ මළගමට පැමිණි තවත් තරුණයන් දෙදෙනකු එම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය ක්‍රියා කළේය.
දංගෙදර කුමාර මරන්නට ආපු ෂයිනියි. ජානකයි මැරිච්ච හතරදෙනා අතරේ ඉන්නවා.. මෙම තරුණයන් සිව්දෙනා ඝාතනය කෙරුණු දිනයේ ගාල්ල ප්‍රදේශයේ එක්‌තරා පොලිස්‌ නිලධාරියකු අපට කීවේ එවැන්නකි.

පොලිසිය එසේ කියද්දී තවත් අපූරු කථාවක්‌ අපට වාර්තා වන්නට වූයේ ගාල්ල ප්‍රදේශයේ සිදුවන පාතාල කෙරුම් පිළිබඳ නිතර අවධියෙන් සිටින එක්‌තරා තරුණ පිරිසක්‌ වෙතිනි. "මහත්තයෝ.. කනන්පිටියේ ටයිටස්‌ කියන්නේ හොඳට "මීටරේ" වැඩකර එකෙක්‌.. ඕකා මීට ඉස්‌සෙල්ලත් ඌ කරපු අපරාධයක්‌ වහ ගන්න තව එකෙක්‌ව මරලා දැම්මා. මේ මරලා දාලා තියෙන කොල්ලොත් ටයිටස්‌ගේ මිනිස්‌සු එක්‌ක ආශ්‍රය කළා.. ඒ නිසා මේකත් උගේ වැඩක්‌මද දන්නේ නැහැ. මරාලාදාලා තියෙන කොල්ලෝ අතරේ ෂයිනියි ජානකයි නැහැ. පොලිසියට වැරදිලා. එක්‌කෝ පොලිසිය උවමනාවෙන් වරද්දලා.. උන් දෙන්නා තවමත් ජීවතුන් අතර ඉන්නවා. අපට කථා කළ එකී තරුණයන් පිරිස ඒ බව තහවුරු කරනු ලැබුවේ ෂයිනිගේම මිතුරෙකු ලවා ඔහුට දුරකථනයෙන් කථා කළ බවද කියමිනි.අවසානයේ පොලිසියේ පාර්ශ්වයෙන්ද තමන්ගේ නිගමනය වැරදුණු බවක්‌ පෙනෙන්නට තිබිණි. එය වඩාත් තහවුරු වූයේ මෙම තරුණයන් සිව් දෙනා ඝාතනය කළ බව කියමින් අත්අඩංගුවට ගත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග ඔවුන් ඇපමත නිදහස්‌ කිරීමට අධිකරණය පියවර ගැනීමෙන් සහ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු දිනයේ කනන්පිටිය පාතාලයේ යක්‍ෂයා ලෙස ප්‍රකට පෝනි සුරංග නමැත්තා පෙර වරෙන්තුවක්‌ සඳහා ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් විය.
"අනේ මහසොහොන් බෝක්‌කුව ළඟ වෙඩි තියලා මරලා දැම්මේ අපේ අහිංසක පුත්තු හතර දෙනෙක්‌ යෑයි ඝාතනය කෙරුණු තරුණයන්ගේ ඥතීන් සහ හිතමිතුරන් අනුකම්පා උපදවන තවත් කතාවක්‌ කියන්න වූයේ මේ අතරතුරය.එහෙත් ඔවුන් එසේ පවසද්දී ඝාතනය වූ තරුණයන් අතරේ සිටියකු සහ ඇත්තිලිගොඩ ජයන්ත නමැත්තකු කනන්පිටියේ ටයිටස්‌ගේ උවමනාව අනුව දංගෙදර කුමාර ඝාතනයේ වගකීම භාරගෙන පොලිසියට භාරවීමට මෙකී සමුහ ඝාතනයට දින දෙකතුනකට ඉහත උත්සාහ දැරීමේ කථාවක්‌ද සැබෑ තොරතුරු දැන සිටින්නන් අතරින් වාර්තා වෙමින් තිබිණි.
මේ සියල්ල පිළිබඳ විමසා බැලීමේදී කවුරුන් කුමක්‌ කීවද මෙකී තරුණයන් සිව් දෙනා ඝාතනය වීම තුළ ඇත්තේ පාප මිත්‍ර සේවනයේ විපාකය සහ ඉල්ලාගෙන කෑමේ භූමිකාව පමණක්‌ බව අපට කීමට සිදු වන්නේ ඒ හෙයිනි. මියගිය තරුණයන් කිසිදු වරදකට අසු නොවී ජීවත් වූ නිර්දෝෂි අය විය හැකිය. නමුත් අද ගාල්ල වනසන ටයිටස්‌ කල්ලිය හා ගැවසී ටයිටස්‌ අයියේ කියමින් ඇඟේ උණට පස්‌සෙන් ගොස්‌ ගින්දර අනුභව කර අවසානයේ අඟුරු පහරන්නට ඝාතනය වූ තරුණයන්ට සිදුවූ බව පැහැදිලිව පෙනී යන්නේය. එය එගම්හි ජීවත්වන අනෙක්‌ තරුණයන්ටද සිහි නුවණින් කල්පනා කිරීමට හොඳ නිමිත්තක්‌ බවද කිව යුතුව ඇත්තේය.කනන්පිටියේ ටයිටස්‌ කල්ලියේ කෙරුවාවන් හමුවේ ගාලු පුර වැසියන් බොහෝ දෙනකු අද පොලිසිය වෙතද ඇඟිලි දිගු කරමින් සිටින්නේය. "මහත්තයෝ පොලිසිය මුන්ට සපෝර්ට්‌ කරනවා.. හැබැයි දේශපාලනේ නිසා පොලිසිය අසරණ වෙලාද දන්නේ නැහැ..
ටයිටස්‌ ළඟ ගිනි අවි පවා තියෙනවා.. උන් මේවායින් වෙඩි තියන්න ඉගෙන ගන්නේ ගාල්ල හාළිවල සහ පුංචාවල අතර තියෙන වෙළේ ඉඳන්. දවසක්‌ උන් එහෙම වෙඩි තියන්න පුරුදු වෙනකොට අපි ගාල්ලේ හිටපු පොලිසියේ ලොකුම මහත්තයෙක්‌ට කතා කරලා කිව්වා දැන් පොලිසියෙන් කට්‌ටියක්‌ එව්වානම් ඔක්‌කොම කොටු කරගන්න පුළුවන් කියලා..
එතකොට පොලිසියේ මහත්තයා අපිට කිව්වේ ඕවා පොලිසියට කියලා වැඩක්‌ නැහැ. හමුදාවට කියන්න කියලා.. ඔන්න ඕකයි තත්ත්වේ. ඇතැම්විට ශ්‍රී ලංකා පොලිසියේම හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයකු කී පරිදි කලකට පෙර පොලිසියට රිංගූ බව කියන සුනඛයකු එදා ගාල්ලේ ලොකු පුටුවක සිටීම නිසා ටයිටස්‌ කල්ලිය පිළිබඳ තොරතුර දුන් ඒ මිනිසුන්ට එවන් පිළිතුරක්‌ ලැබුණාදැයි අපි නොදන්නෙමු. ඔවුන්ගේ එකී කථාව අරබයා අපට කීමට ඇත්තේ එවැන්නකි.
සියලු කතා එසේ වෙද්දී අද දකුණ වනසමින් නැගී සිටින මේ කනන්පිටියේ ටයිටස්‌ කල්ලිය යනු කුමක්‌ දැයි විමසා බැලීමද අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. ටයිටස්‌ යනු කලකට ඉහත යුද හමුදා විශේෂ බළකායේ සිට ඉන් පලා විත් කනන්පිටියේ මෙකී කල්ලිය බිහිකර ගත් ප්‍රබලයා බව කියෑවෙමින් තිබෙන්නේය.
එහි ඊළඟ කෙරුමා සහ පළාතම දෙදරවන යක්‍ෂයා පෝනි සුරංග බව අද ගාල්ලේ ජනතාව භීතියෙන් යුතුව රහසේ පවසා සිටින අතර තවත් පනහක පමණ පිරිසක්‌ දහසක්‌ නරුමකම්වල යෙදෙමින් ටයිටස්‌ කල්ලිය සමග සිටින බවද කියෑවෙන්නේය.
ඒ අතරින් ෂයිනි, රත්ගම පැතුමා නොහොත් තඩී, පෝනි සුරංගගේ සොයුරෙකු බව කියන යුද හමුදා විශේෂ බළකායෙන් පලා විත් සිටින ජානක, නෙළුවේ සුරංග, සුනාමි ලොක්‌කා, බෝට්‌ටු කලූ ආදීන් සෙසු නරුමයන් ලෙස කල්ලියේ පෙරමුණේ සිටින්නේ යෑයිද ඉහත කී ගාල්ලේ ජනතාවම අනාවරණය කරන්නේය.
මත් කුඩු ජාවාරම, ගාල්ල හාළිවල ප්‍රදේශයේ ලැඟුම්හලක්‌ මුවාවෙන් තිබෙන ගුබ්බෑයමක්‌ තුළ ගණිකා ජාවාරම පවත්වාගෙන යැම සහ ගාල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම ප්‍රධාන යෑපුම් මාර්ග ලෙස කරගෙන යමින්a ගාල්ල කනන්පිටිය ප්‍රදේශයට කේන්ද්‍රවී ක්‍රියාත්මක මෙකී නරුමයන් කාලයක සිට ගාලු පුරවරය වනසමින් කර ඇති මිනිස්‌ ඝාතන ඇතුළු අපරාධ රැසක්‌ තිබෙන බවද පොලිස්‌ වාර්තා මගින් තහවුරු වන්නේය.
ගාල්ල කලේගානේදී ඌරු සුනිල් නමැත්තකු ඔහුගේ කුඩා දියණිය ඉදිරිපිටදීම කපා කොටා ඝාතනය කිරීම, මොරගොඩදී අබේදීර නමැත්තකු මරා දැමීම, සියඹලාගහවත්ත අමරේ නමැත්තකු කපා කොටා කනට කම්බි කූරක්‌ ඇතුළු කර දස වධ දී මරා දැමීම, කොන්ත්‍රාත්තුවකට අනුව පාසල් ශිෂ්‍යයකුට පහරදී සහිසුන් වීමෙන් පසු කතළුවේදී දෙපා දුම්රියට තබා අබ්බඝාතයකු කිරීම, රුපියල් 10000 ක කොන්ත්‍රාත්තුවකට මොරවකදී වයෝවෘද පුද්ගලයකුට ගල් උලකින් පහරදී ඝාතනය කිරීම, කනන්පිටියේදී සමිත් නදීෂාන් නමැත්තකු කපා කොටා මරා දැමීම, පොසොන් පොහෝ දිනෙක ගාල්ල පොලිසිය ආසන්නයේ පැවැති මරණයට කැපවූ ගවයන් නිදහස්‌ කිරීමේ පිංකමකට කඩා වැදී ජම්බුකැටියේ මහතුන් නමැත්කුගේ දැත් දෙපා වෙන් වන සේ කපා දමමින් අබාධිතයකු කිරීම, එකී මහතුන් නමැත්තාගේ පුතෙකු මිලිද්දුව හන්දියේදී කපා කොටා මරා දැමීම, එකී අපරාධ අතරින් කිහිපයකි.ගාල්ල වනසමින් කනන්පිටියේ යක්‍ෂයන් එසේ රජයද්දී අද කනන්පිටිය ටයිටස්‌ කල්ලියේ පැවැත්ම උදෙසා ප්‍රදේශයේ එක්‌තරා විහාරස්‌ථානයක හිමිනමකගේ සහාය ලැබෙමින් තිබෙන බවද ගාල්ලේ ජනතාව අනාවරණය කරනුයේ පිළිකුලෙන් යුතුව වන්නේය. එසේම මොටෝ මල්ලි නමැති දේශපාලන බඩගොස්‌තරවාදියකු පිළිබඳවද මෙහිදී කියෑවෙමින් තිබෙන්නේය.

ඉදින් මේ රටේ නීතිය සුරැකීමට සිටින ගාල්ලේ පොලිස්‌ ප්‍රධානින්ද ඇතුළු බලධරයනි. මේ සියල්ල හමුවේ අවසානයේ අපි ඔබෙන් මෙසේ අසමු. කනන්පිටියේ ටයිටස්‌ කල්ලියේ ගොදුරු වෙමින් තව කොතෙක්‌ කලක්‌ ගාල්ලේ ජනතාව විඳවිය යුතුද? මේ පාතාල යක්‍ෂයන්ට නිසි දඬුවම් ලැබෙනුයේ කෙදිනකද? මෙකී භීෂකයන්ගේ ගාල්ලේ ජනතාව මුදා ගත නොහැකිව තිබේද?

සමන් ගමගේ
(උපුටා ගැනීම ඉරිදා දිවයින 2012 නොවැම්බර් 11)

Monday, July 9, 2012

මැදපෙරදිග බලා යන ඔබ ගෙදර ගෙන ආයුත්තේ මොනවාද ?


සෑහෙන කාලෙකින් කිසිම දෙයක් ලියන්න ‍බැරිවුනා නොයෙක් හේතු නිසා.

දිවයින පත්තරේ තිබුන රට රැකියා කරන අයට වැදගත් වෙන ලිපියක් දැක්කාම මගේ බොලොග් එක මතක්වුනා. කියවල බලන්න කැමති කට්ටිය. හැබැයි ඉතින් බ්ලොග් ලියන බලන කට්ටියනම් මේවා දන්නවා ඇති. අන්තරජාලයේ රවුම් නොගහන අයට ප්‍රින්ට්අවුට් ටිකක් අරගෙන බෙදල දෙන්නත් හිතාගත්තා.
උපුටා ගැනීම 9 ජූලි 2012 දිවයින



මැදපෙරදිග බලා යන ඔබ
ගෙදර ගෙන ආයුත්තේ මොනවාද ?

පළමුවෙන්ම අපි ඔබට ප්‍රීතිමත් ගමනකට සුබ පතමු. ඇතැම් විටෙක මෙය ඔබගේ රැකියාව පිණිස විදේශගත වන පළමු අවස්‌ථාව නොවනු ඇත. පළමු වරට යන අයට රැකියා කරන කාලය පුරා අත්දැකීම් රාශියක්‌
රැස්‌ කරගත හැකි වනු ඇත. ඔබ, ඔබේ පවුලේ යහපත උදෙසා නොදන්නා රටක නොදන්නා පිරිසක්‌ අතර රැකියාව පිණිස යන්නේය. ඉඩම් කොටසක්‌ මිලට ගැනීම, නිවසක්‌ ගොඩනඟා ගැනීම, ඔබගේ දරුවාගේ
අධ්යායපනය සම්පූර්ණ කරගැනීම, ව්යා,පාරයක්‌ ආරම්භ කිරීම, නැතිනම් ඔබ දියණියගේ විවාහ මංගල්‍යය පිණිස යම් මුදලක්‌ රැස්‌ කර ගැනීම ඔබගේ සිහිනය වන්නට පුළුවන. සිහිනය කුමක්‌ වුවද අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරමු.

ඇත්තවශයෙන්ම සොයුර, සොයුරිය, ඔබ රැකියාවේ යෙදෙන්නේ ඔබගේ පවුලේ යහපත වෙනුවෙන්ම පමණක්‌ම නොව අපේ රට ද වෙනුවෙනි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අනුව 2010 වසරේදී පුද්ගලික විදේශ විනිමය ඉපැයීම්වලින් 60% ක්‌,එනම්රුපියල්279,688,000,000.00 ක්‌ ඔබ මෙරටට ගෙනැවිත් ඇත. රට වෙනුවෙන් ඔබගේ සේවය අගයනු වස්‌ ඔබට පහසුකම් සැපයීම පිණිස රජය විසින් විවිධ පියවර ගනු ලැබ ඇත. ඔබ හා ඔබ පවුලේ සුබසාධනය උදෙසා 1985 දී ශ්රීට ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය ස්‌ථාපනය කරනු ලැබීය. එම කාර්යාංශය විසින් ඔබට ලබාදෙන සේවාවන් අතර විදේශ රැකියා රක්ෂරණ යෝජනා ක්‍රමය, ඔබගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්හට ලිපි ද්‍රව්‍ය හා වෙනත් වැදගත් අධ්‍යාපන උපකරණ ලබාදීම, ඔබගේ දරුවන් වෙනුවෙන් අවශ්‍යතා සැපයුම පිණිස විශේෂ ඒකකයක්‌ පිහිටුවීම, නිවාසහා ස්‌වයංරැකියා වෙනුවෙන් ණය පහුසකම් සැපයීම, සේසත විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමය ඇති කිරීම, අසනීප හේතුවෙන් ලංකාවට ආපසු පැමිණියහොත් වෛද්‍ය  ප්‍රතිකාර ලබාදීම, සහන පියස සුබසාධක සේවා මධ්‍යස්‌ථානය, සංවර්ධන වැඩසටහන් කිරීම,අවශ්‍යපුහුණුවලබාදීම,විශේෂ තොරතුරු ලබාදීම ඇතුළත්ය. 
රජය විසින් සපයනු ලබන තවත් පහසුකමක්‌ වනුයේ තීරුබදු හා වෙනත් බදු ගෙවීම්වලින් තොරව භාණ්‌ඩ රැගෙන ඒමට ඉඩකඩ ලබාදීමයි. ඔබ විදේශයන්හි ගත කළ කාලසීමාව පදනම් කරගෙන තීරුබදු සහ දීමනාවන් රජය විසින් ලබාදී ඇත. රේගු අධ්‍යෂක ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන විටෙකදී හැර මෙම දීමනාවන් වසරක (දින 365 කට) එක්‌ වරක්‌ පමණක්‌ ලබාදෙනු ඇත.එකී දීමනාවන් යටතේ මගියාගේ ගමන් මල්ලක අඩංගු විය යුතු අවසර ලැබෙන භාණ්‌ඩ/ද්රගව්ය  හා ඒවාට අදාළ ප්‍රමාණයන් නියම කර ඇත. කෙසේ නමුත් ඔබ විසින් අමතක නොකළ යුතු කරුණු කිහිපයක්‌ වේ. බදු අය කරනු ලබන ඇතැම් භාණ්‌ඩ කිහිපයක්‌ ඇති අතර බදු නිදහස්‌ දීමනා ක්‍රමය යටතේ ඒවා ආවරණය නොවනු ඇත.
ඒවායින් සමහරක්‌ වනුයේ, 
(i) LCD රූපවාහිනී යන්ත්රඅ අඟල් 42 ට වැඩි, (ii) CRT රූපවාහිනි යන්ත්‍රඅඟල් 29 ට වැඩි, (iii) වායු සමීකරණ යන්ත්ර , (iv) අධි ශීතකරණ, (v) විදුලි උඳුන් (ලිප් හතර), (vi) ශීතකරණ (ලීටර් 500 ට වැඩි),
(vii) පිඟන් සෝදන යන්ත්රී, (viii) ඉන්ධන ධාරිතාව 250ට වැඩි යතුරුපැදි. ඊට අමතරව රට තුළට ආනයනය තහනම් කරනු ලැබ ඇති තවත් සමහර භාණ්‌ඩ කිහිපයක්‌ ද ඇති අතර ඒවා නම්, (1) මත්ද්‍රව්‍ය හෝ මානසික ක්‍රියාකාරිත්වය විකෘතිවීම කෙරේ බලපාන ඖෂධ, (2) අසභ්‍ය  පින්තූර, සීඩි තැටි හෝ ලේඛන. 
ඉහත දැක්‌වූ ආනයනය තහනම් කරනු ලැබ ඇති භාණ්‌ඩ ගෙන්වනු ලැබුවහොත් ඔබට අධික දඩමුදල් ගෙවීමට සිදුවනු අතර, බන්ධනාගාර ගතවීමට ද ඉඩ ඇත. මීට අමතරව වාණිජ ප්‍රමාණයන්ගෙන් භාණ්‌ඩ ගෙන ආ කල්හි බදු හා දඩ මුදල් ද ගෙවීමට සිදුවනු ඇත. එසේම අනෙක්‌ අය සතු දේ රැගෙන ඒම ද වරදක්‌ වේ.තවද රටට ආනයනය කිරීම සීමා කරනු ලැබ ඇති සහ ආනයනය කිරීමට අදාළ අධිකාරියෙන් බලපත්‍රයක්‌ හෝ
අවසර පත්‍රයක්‌ ලබාගත යුතු භාණ්‌ඩ වර්ග ද වේ. ඒවායින් සමහරක්‌ පහත දක්‌වා ඇත.
(1) සතුන් හා පැලෑටි, (2) ආයුධ හා මූනිස්‌සම්, (3) විද්යුත් සන්නිවේදන උපකරණ, (4) යතුරුපැදි (ඉන්ධන ධාරිතාව 350 ට වැඩියෙන් හෝ පළමු ලියාපදිංචියෙන් වසර තුනකට වඩා පැරැණි). 
රජය විසින් ඔබට අවශ්‍ය ද්‍රව්‍යයන් රටට ගෙන එනු ලැබීමට එවැනි අවස්‌ථාවක්‌ ලබාදී ඇතත් ඔබගෙන් වැඩිදෙනෙක්‌ එහි ප්‍රතිලාභ ලබාගෙන නොමැත. රේගු නිලධාරින් ලෙසින් වසර ගණනක්‌ තිස්‌සේ අප ඔබගේ
ගමන් බඩු පරීක්ෂාන කර ඇත. අපගේ අත්දැකීමට අනුව ඔබගෙන් වැඩි දෙනෙක්‌ භාණ්‌ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක්‌ වියදම් කරමින් වටිනාකමක්‌ නොමැති භාණ්‌ඩ ලංකාවට ගෙන එයි. හොඳින් කල්පනා කළහොත් එතරම් අධික මුදල් ප්‍රමාණයක්‌ ඔබ විසින් ආනයනය කරන භාණ්‌ඩවලට වියදම් නොකරම දේශීය වෙළෙඳපොළේදී එම භාණ්‌ඩම ඔබ විසින් වියදම් කළ මුදලට වඩා අඩුවෙන් මිලදී ගත හැකි වන බව ඔබට වැටහෙනු ඇත. අනෙක්‌ අතට බොහෝවිට ඔබ විසින් ගෙන්වනු ලබන භාණ්‌ඩ වනුයේ භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්‌ට්රෝනික
භාණ්‌ඩ හා අඳින ලද ඇඳුම්ය. මෙය ඔබට ඔබ පවුලට මෙන්ම ඔබගේ පරිසරයට ද විශාල හානියක්‌ ගෙන දෙන්නේය. මෙම භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්‌ට්රෝනික්‌ භාණ්‌ඩ මොනවාද කියා ඔබ දන්නවාද? එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන්වලට අනුව ඉලෙක්‌ට්රොනික අපද්‍රව්‍ය ලෙසින් සංවර්ධිත රාජ්‍යයන් විසින් වසරකට පාවිච්චි කරනු ලැබ ඇති ඉලෙක්‌ට්රොරනික භාණ්‌ඩ ටොන් මිලියන 40 ක්‌ පමණ ඉවත ලනු ලබයි. මේවා නම් පාවිච්චි කරන ලද, (i) වායු සමීකරණ යන්ත්‍ර, (ii) ගනක යන්ත්‍ර, (iii) කැමරා, (iv) විදුලි බල ධාරක (Capacitors)ල (v) CFL බල්බ, (vi) සංයුක්‌ත තැටි (CD)ල (vii) පරිගණක, (viii) තැටි ධාවන යන්ත්‍ර,
 (ix) වියළි විදුලි කෝෂ, (x) ප්‍රතිදීප්ත බල්බ, (xi) අධි ශීතකරණ, (xii) බහුමාධ්ය‍ පොජෙක්‌ටර් යන්ත්‍ර, (xiii) ගුවන්විදුලි යන්ත්‍ර, (xiv) ශීතකරණ, (xv) රූපවාහිනි යන්ත්‍ර, (xvi) ට්රා‍න්ස්‌ෆෝමර් මෙම භාණ්‌ඩයන්හි විවිධ මූලද්‍රව්‍යයන් හා රසායනික සංයුතීන් විශාල ප්‍රමාණයක්‌ ඇත. ඒවා සමහරක්‌ නම් ෆයිබර්ග්ලාස්‌, මෝල්ඩිං ප්ලාස්‌ටික්‌, තඹ, යකඩ, ඊයම්, ටින්, ඇලුමිනියම්, සිලිකන්, බෙරලියම්, කාබන්, සල්ෆර්, පොලිවිනයිල් ක්‌ලෝරයිඩ් ආදියයි. මීට අමතරව කැඩ්මියම් රසදිය හා කැල්සියම් සුළු ප්‍රමාණයන්ගෙන් ඇත. මෙම භාණ්‌ඩයන්හි ශරීරයට විෂ කාරකයන් ඇති බව ඔබ දන්නවාද? ඒවා සමහරක්‌ නම්, රසදිය - ප්‍රතිදීප්ත බල්බ, ශීතකරණ, තර්මෝමීටර, විදුලි උඳුන්වල, උෂ්ණත්ව පාලකයන්, නවීන පරිගණක යන්ත්‍ර , සල්ෆර් - ලෙඩ් ඇසිඩ් බැටරි, කැඩ්මියම් - ආලෝක
සංවේදී ප්‍රතිරෝධකයන්, නිකල් කැඩ්මියම් බැටරි, ඊයම් - පරිගණක යන්ත්‍රවල හා රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ, ලෙඩ් ඇසිඩ් බැටරි, ඇලුමිනියම් - සියලුම ඉලෙක්‌ට්රොනික ආම්පන්න හා දුරකථන, නිකල් - නිකල් කැඩ්මියම් බැටරි, ලිතියම් - ලිතියම් අයන් බැටරි, රන් - පරිගණක ආම්පන්න හා දුරකථන.
මෙම මූලද්‍රවය‍යන් මිනිස්‌ සිරුරට ඇතුල් වන අතර එය නානාප්‍රකාර ලෙඩ රෝගවලට මග පාදයි. රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ - වකුගඩු හානි, අස්‌ථි හානි, සමේ රෝග, හෘද ක්රි යාකාරිත්වය හා ආමාශයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිත් බලපැම් ඇති කරයි. CFL බල්බවල ඇති ඊයම් - ස්‌නායු පද්ධතිය කෙරෙහිත්, වකුගඩු රෝග හානි හා හෘදයේ
ක්‍රියාකාරීත්වය කෙරෙහිත්, ආමාශයේ හා උදරයේ පිළිකා ඇති කිරීම කෙරෙහිත්, රුධිර සංසරණය හා ස්‌වසන පද්ධතිය කෙරෙහිත් බලපෑම් ඇති කරයි. සංයුක්‌ත තැටි පිළිස්‌සීම - පිළිකා ඇති කිරීම, ස්‌නායු පද්ධතියේ ආබාධ ඇති කිරීම, ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් ඇති කිරීම, එන්සයිම ක්‍රියාකාරීත්වය කෙරේ බලපෑම, ස්‌වසන පද්ධතිය කෙරෙහි
බලපෑම, ප්රීතිශක්‌තිකරණ පද්ධතියට බලපෑම් ඇති කිරීම සිදුවේ.

ඔබ මීට පෙර මේ ගැන අසා තිබුණේද? බොහෝවිට මෙසේ ඔබට පාවිච්චි කරන ලද භාණ්‌ඩ ගෙනඒමට හේතුවී ඇත්තේ ඒවා මුදල් ගෙවීමකින් තොරව ලැබීම හෝ සුළු මුදලක්‌ වැය කිරීම මගින් ලබාගැනීමට හැකිවීම නිසා විය හැකිය. නමුත් ඔබගේ නිවසට භාණ්‌ඩ ගෙන ඒමේදී ඔබ විසින් දැරිය යුතු ගාස්‌තු ගැන ඔබ නොසිතන්නට ඇත. අප විසින් කරනු
ලැබ ඇති සමීක්ෂදණයකදී හෙළිව ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට භාණ්‌ඩ රැගෙන ඒමේදී (එක්‌ ඝන මීටරයක දැව පෙට්‌ටියකට)
දළ වශයෙන් පහත දැක්‌වෙන වියදම් දැරිය යුතුව ඇති බවයි.

1. බඩු ගබඩා කරනු ලබන දැව පෙට්‌ටි සඳහා වන මුදල - රු.1000.00 
2. ශ්‍රී ලංකාව දක්‌වා නැව් ගාස්‌තු - රු.4.600.00 
3. ශ්‍රී ලංකාවේදී මෙහෙයුම් ගාස්‌තුව - රු.4,200.00 
4. ඔබ නිවස දක්‌වා ප්‍රවාහනය පිණිස (කොළඹ අවට) - රු.2,800.00       5. වෙනත් වියදම් - රු.1,000.00                                                      එකතුව - රු.13,600.00

කෙසේ නමුත් ඇතැම් සමාගම් භාණ්‌ඩ ඔබ නිවස වෙත ප්‍රවාහනය පිණිස සියලු වියදම් ද ඇතුළුව (තීරුබදු හැර) (එක්‌ ඝන මීටරයක දැව පෙට්‌ටියකට) රුපියල් 12,000 අතර මුදලක්‌ අය කරයි.එමෙන්ම ඔබ ගෙන එන ලද භාණ්‌ඩ තීරු බදු ගෙවීමට යටත් වන්නේ නම් ඔබට අදාළ බදු මුදල ගෙවීමට ද සිදුවනු ඇති භාණ්‌ඩ කිහිපයකට අදාළ වනු ලබන බදු මුදල් වගුවෙන් දක්‌වා ඇත. (තක්‌සේරු වටිනාකම වැඩිවන විට බදු මුදල වැඩිවේ) ඊට අමතරව ඇතැම් භාණ්‌ඩ එනම්, පාවිච්චි කළ ශීතකරණ, පාවිච්චි කළ අධි ශීතකරණ ආදිය වෙනුවෙන් අදාළ බලපත්රතය
ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් ඔබගේ වටිනා කාලය යෙදීමට ද සිදුවනු ඇත. ඔබගේ පුද්ගලික භාණ්‌ඩ ලෙසට වටිනාකමක්‌ නොමැති දේවල් රටට ගෙනඒමෙන් ඇති වන්නා වූ බලපෑම ගැන
දැන් ඔබට මනා අවබෝධයක්‌ ඇත. ඔබ වටිනාකමක්‌ නොමැති භාණ්‌ඩ රටට ආනයනය කිරීම නතර කරනු ලැබුවහොත් එය, (1) සිය ගුදම් ධාරිතාව මනාව යෙදවීමට නැව් බඩු මෙහෙයුම් සමාගම්වලට හැකිවීමෙන්, (2) ඔබගේ භාණ්‌ඩ නිශ්කාෂණ සඳහා පැමිණි කල පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවන් ලැබීමෙන්, (3) ඔබගේ ගමන් මලු ප්‍රමාදයකින් තොරව පරීක්ෂාක කිරීමේ හා නිදහස්‌ කිරීමේ හැකියාවක්‌ ලැබීමෙන්, (4) විද්යුත් හා වෙනත් කැළිකසළවලින් පරිසරය
ආරක්ෂාවීම තුළින්, (5) විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවීමෙන් ඔබගේ, ඔබ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන්, විශාල සේවයක්‌ වනු ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අනුව 2010 වර්ෂය තුළ ආසන්න වශයෙන් 266,000 ක්‌ දෙනා විදෙස්‌ රැකියා පිණිස පිටත්ව ගොස්‌ තිබේ. වටිනාකමක්‌ නොමැති භාණ්‌ඩ රටට ගෙනඑනු ලැබීම අඩු කිරීම තුළින් ඔවුන් රුපියල් 1000 ක්‌ ඉතිරි කළහොත් එක්‌ වසරකට පමණක්‌ රුපියල් 266,000,000.00 කට සමාන මුදලක්‌ විදේශ
විනිමය ලෙස ඉතිරි කරගත හැක. ඝන මීටර් 0.5 ක්‌ ධාරිතාව බැගින් ඔවුන් විසින් ආනයනය අඩු කරනු ලැබුවහොත් රට තුළට වටිනාකමක්‌ රහිත භාණ්‌ඩ ඇතුළුවීම ඝන මීටර 133000 ක ධාරිතාවකින් අඩු කරගත හැකිය. 

එම නිසා සොයුරු සොයුරියනි, අපගේ ආර්ථිකයේ හා පරිසරයේ යහපත වෙනුවෙන් ඔබට කෙතරම් දෙයක්‌ කළ හැකි දැයි මොහොතකට සිතන්න. ඔබට වඩාත් පැහැදිලි කිරීමක්‌ අවශ්යක වන්නේ නම් කරුණාකර රේගු තොරතුරු මධ්‍යස්‌ථානය අමතන්න. (011-2342012) දැනගත හැකි වනු ඇත. 
ගාමිණී විඡේතුංග
නියෝජ්‍ය රේගු අධිකාරි

රංජිත් බණ්‌ඩාර
නියෝජ්‍ය රේගු අධිකාරි

Monday, March 26, 2012

සංවේදී

මම ඔබට නාඬන්න යැයි කියමි

ඈ යන්න ගියා මැකිලා


උගතා නූගතා සේ ඉදිද්දී නූගතා උගතා වන සමාජ ක්‍රමයක සැබෑ උගතකු වශයෙන් බොහෝ දේ අහිමි වුණු යෞවනයන් අතර මමත් එක් යෞවනයෙක්මි. මගේ උගත්කමට මට හිමිවුණු සුන්දර දෙයක් වේ නම් ඒ මගේ සරසවි ජීවිතයේ මට හිමිවුණු සුන්දර අවිහිංසකාවිය පමණමයි. එහෙත් පවතින සමාජ ක්‍රමයේ ආකල්ප මත ඇය ද මට අහිමි විය.
ස්ථිර රක්‍ෂාවක් නැති තැනින් තැනට යන ටියුෂන්කාරයකුට අනුත්තරාව දෙන්න එයාගේ අම්මා අකැමති වුණේ මම කැම්පස් ‘අවුට්’ වෙලා අවුරුදු දෙකක් ගත වුණ විට යි. මගේ උගත්කමට සරිලන රස්සාවක් කවදා හරි ලැබෙයි කියන මතයේ අනුත්තරා හිටියත් අම්ම නම් නිතරම කියලා තිබුණේ හැරමිටියෙන් ගත කිරීමට සුන්දර ජීවිතයක් අවශ්‍ය නොවන බවයි.
ඒත්... අවසානයේ දී අනුත්තරා මාව දාලා ගියා. එයාගෙ වෙඩින් එක දවස... මං ඒ ගැන කියන්න කැමති නැහැ. මං ඒ දවස මතක් කරන්නවත් කැමති නැහැ. එදා ඉඳල මගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක් ම බිඳ වැටුණා. මං වෙනද වගේම මගේ පාපැදියෙන් ‘ක්ලාස්’ කරන්න ගියා. ඒත් කිසිම කැමැත්තකින් නොවේ, ඒ වෙනකොට මගේ ආර්ථිකය හොඳටම කඩා වැටිල තිබුණේ. ආර්ථිකය හොඳටම කඩා වැටුණත් මගේ හිතට කිසිම දුකක් ඇති වුණේ නැහැ. බලාපොරොත්තුවක් නැති ජීවිතයට මොනවා වුණත් කමක් නැහැ කියලා මට හිතුණා.
ඔය අතරෙදි අනුත්තරා මගේ නමට ලිපියක් එවා තිබුණා. අනුත්තරා, සංජුක කියන නම් දෙක සදහටම නම් දෙකක් මිස ආයෙත් කවදාවත් ම එකට එකතු වන නමක් නෙවේ රත්තරං... මට සමාවෙන්න... මං අනු”
ටියුෂන්වලට ‘නෝට්ස්’ හදන්න... ‘පේපර්’ කරන්න මනස වෙහෙසන්න මට ශක්තියක් තිබුණෙ නැහැ. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියමනටත් හිතින් වෛර කරපු මං මතු රැකෙනා ශිල්පයමයි උගත මනා කියලා හිතලා උගත්කම පැත්තකට දාලා ගරාජ් වැඩපොළකට ගියා. ‘මජං’ ගාගෙන වාහනයක් යට ඉන්නකොට මට ආයෙත් ජීවිතේ ලැබුණා කියලා හිතුණා. ඒත් වැඩපොළේ දී මගේ අතින් වුණු සුළු වැරැද්දකට වැඩපොළට ලොකු අලාභයක් වුණා. මට එතනින් රස්සාව නැති වුණා.
ඉබාගාතේ ඇවිදලා මං ආයෙමත් ගම අතහැරල වෙනත් නගරයකට ගිහින් ටියුෂන් පටන් ගත්තා. කිරෙන් කාලා තෙලෙන් අත හෝදන නගරයක මං නොහිතපු විදිහට ආර්ථිකය ශක්තිමත් වුණා. දවසින් දවස ‘ක්ලාස්’වලට ළමයින් පැමිණෙත්දී මම ආයෙමත් ජීවිතේ දකින්න පටන් ගත්තා. ටියුෂන්වලට මං අය කරපු මුදල්වලට සාධාරණය ඉටුකරන්න මං කැපවුණා. ඒ මගේ කැපවීමට මං හිතුවාටත් වඩා ප්‍රතිඵල ලැබුණා. අද මං මේ පළාතේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක්. ඔය අතරෙදී මං ගුරු විභාගයෙන් සමත් වුණා. මොනව වුණත් අනු පිළිබඳ මතකය මට වරින්වර මතක් වුණා. මං ඉගෙන ගත් සරසවිය ළඟින් දිනකට කීප වතාවක් එහාට මෙහාට යන්නට වීමම මගේ හිත තව තවත් තුවාල කිරීමට හේතුවක් වුණා. ඒත් දවසක් හරි පුදුම දෙයක් වුණා.
නව ගුරු පත්වීම භාර ගත්තට පස්සෙ අහම්බෙන් පුංචි දරුවන්ගේ පන්තියක ඉගැන්වීම් කටයුතුවලට මට යන්න වුණා. මං ඒ කුඩා දරුවන්ට උගන්ව උගන්ව ඉන්න කොට දැකපු දසුනකින් මගේ හිත හරියට නොසන්සුන් වුණා. මගේ හිත නොසන්සුන් කළ අනුත්තරාගේම මුහුණ අඹල තිබුණු ඒ පුංචි පුතාව නැගිට්ටල මං එයාගෙ නම ඇහුවා.
“අනුත්තර සංජුක”
ඒ පුංචි පුතා එක වරම උත්තර දුන්නා. මං තිගැස්සුණා. සඟවා ගත් කඳුළු අතරින් මං අම්මගේ නම ඇහුවා.
‘අනුත්තරා’
තාත්තගෙ නමත් මං නිකමට ඇහුවා.
“අමන්ත තිසාසේකර”
“පුතාව එක්කගෙන යන්න අද අම්මා ඉස්කෝලෙ ළඟට එනවද?” මං හරි උද්යෝගයෙන් ඒක ඇහුවේ.
පුතා උත්තර දුන්නෙ නැහැ..... ‘නෑ’ කියලා ඔළුව වැනුවා විතරයි.
“ඇයි ඒ?” මං ආයෙත් ඇහුවා.
“අම්මා නැති වුණා”
“නැති වුණා!
මං වෙන වචනයක්වත් ඇහුවෙ නැහැ... අවුරුදු 34 ක් පුරාවටම දුක් විඳපු කෙනෙක් විදිහට තවත් මට විඳවන්න හදවතක් තියෙනව ද කියලා මං දන්නෙ නැහැ. සංජුක, අනුත්තරා කියන නම් දෙක ආයෙත් කවදාවත් එකතු වන එකක් නැහැ. ඒ නම් දෙක නම් දෙකක් විතරමයි.
එහෙම කියපු එයා ඒ නම් දෙක ආයෙත් එක් කරලා යන්නම යන්න ගිහින් සදහටම.... ඔව් සදහටම...

Wednesday, February 1, 2012

පීඩනය සහ උපරිම පීඩනය

මේ මට ලැබුන ඊයක් (අජිත්ගෙන්)


ඔබ පාරේ ගමනක් යනවිට ඉතා ලක්ෂන කාන්තාවක් ඔබේ මෝටර් රථය නවත්වා ඇයව නගරයට ගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.
ඔබ අයව මෝටර් රථයට නංවා ගන්නවා. මඳ දුරක් යනවිට ඇය ක්ලාන්ත වෙනවා.
ඔබ ඇයව රෝහලකට ගෙනයනවා.ඇයව පරීක්ෂා කල දොස්තර ඔබට සුබ පතනවා.
"මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්"
දැන් ඔබට පීඩනයක් දැනෙනවා.....
"ඔබට වැරදීමක් වෙලා...මම ඇගේ දරුවගේ පියා නොවේ"
ඔබ පවසනවා.
"නෑ නෑ මොහුම තමා මගේ දරුවාගේ පියා" ඇය හඩා වැටෙමින් පවසනවා.
දැන් ඔබට දැනෙන පීඩනය තවත් වැඩී....
සිද්ධිය දුරදිග යනවා.රෝහල් පොලීසිය පැමිනෙනවා. DNA පරීක්ෂණයක් කරන මෙන් වෛද්‍යවරයාට නියෝග කරනවාග DNA පරීක්ෂණය කරනවා. DNA පරීක්ෂනයේ ප්‍රතිපල එනවා. වෛද්‍යවරයා ඔබෙන් සමාව ඉල්ලනවා.
"මොහු අහිංසකයි ....ඇය වංචාකාරියක්..."මොහු ඇගේ දරුවාගේ පියා නොවෙයි. මොහුට කවදාවත් පියෙකු වෙන්න බෑ"
එය ඇසූ ඔබේ පීඩනය තවත් වැඩි වෙනවා.
නමුත් ඔබ දෙවියන්ට ස්තුති කරමින් නිවසට එනවා. නිවසට ලඟාවන ඔබට බිරිඳ දුරකථන ඇමතුමක් දෙනවා.
"ඔයා එනකොට දුවවයි පුතාවයි ඉස්කෝලෙන් අරන් එනවද"
රෝහලේදී ඔබට මතක් නොවුන දෙයක් මතක් වෙනවා.
"මට කවදාවත් පියෙක් වෙන්න බැරිනම් මගේ දරුවන්ගේ තාත්තා කවුද?"
දැන් ඔබට ජීවිතයේ දැරිය හැකි උපරිම පීඩනය දැනෙනවා....


Friday, January 13, 2012

ඔන්න ඒ පාර මගුලක් කතාකරනවා.....



මගෙ අසල්වැසි හිතවතෙක් වෙච්චි දයාසිරි, මගෙන් උදව්වක් ඉල්ලගෙන ආවනෙ.එයාව නිමිත්ත කරගෙන මම පුංචි කතාවක් කියන්න පටන් ගත්තනෙ දයාසිරිගෙ .....නංගිට හරිගිහින්..... කියල. මම කියන්න ගත්තු ඒ පුංචි කතාවෙ ඉතුරු හරියත් අදම කියල ඉවරයක් කරන්න හිතුව ඔන්න...
එහෙම හිතෙන්න හේතුව වුනේ ඒක කියවන්න මැඬියගෙ විමානෙට ගොඩවැදිච්චි දෙතුන් දෙනා කපාපු දෙහි කැපිල්ල මගෙ අම්මෝ එහෙමත් බැනුමක්. ආවෙ කී දෙනාද ආපු හැමෝම බැන්නනෙ.
මම ඒක කියන්න පටන් ගත්තු විදිහට මෙගා එකක් කියලත් සමහරුන්ට හිතිල තිබුන.
අපොයි මොන පිස්සුවක්ද එච්චර දුරක් කොහෙ යන්නද .මෙගා ලියනව තියා මේ නිකන් වල්පල් ටිකවත් කොටන්න විඳින දුක දන්නෙ මමනෙ.
හිතේ අමනාපෙන් නොවෙයිනෙ මේ බනින්නෙ. හිතල බැලුව ටිකක් ඇත්ත නේන්නම් එකකින් චුට්ටක් එලියට දාල ඉතුරු ටික බලන්න ආයෙ මාසයක් බලාඉන්න වුනාම මල වදයක්නෙ. මතක් කරගන්න ආයෙම මුල එක හොයන් යන්න එපායැ.
ඇරත් කජු කාලෙට රෑට මහ කජුගස් යට කජු වැටෙනව වාගෙ දවස ගානෙ පෝස්ටු වැටෙනව දැන් මේ බ්ලොග් ගම්මානෙ පුරාම. ඕවා සේරම අහුලන්නත් එපායැ අප්පා. 
ඒ විදියට ලැජ්ජා කොරපු හින්ද කොහොම හරි ලියන්න ඕනේ කියල හිතට හයියක් ආවා නේන්නම්. අලස හිත අවදි කරපු බ්ලොග් ගම්මානයේ ජේෂ්ඨයින්ට ස්තුති කරනව ඇත්තටම. අර බොක්කද මොකක්ද කියන්නෙ ...අන්න ඒකෙන්ම මමත්. ආයෙ මොකටද
_________________________________

දයාසිරි ඉන්නෙ මම ඉන්න ගෙදර තියෙන පාරෙම ගෙවල් තුනකට එහායින්... මම ඉන්න පැත්තට විරුද්ද පැත්තෙ. ගෙවල් තුනක් කිව්වට ඉතින් ගෙවල් තුන මැනල ඉවරවෙන්න කිලෝමීටරයක් විතර යන්න තියෙනවනෙ.අපිටනම් පවුල් තුන හතරකට ඉන්න පුලුවන් තරම් විශාලයිනෙ මෙහෙ දෙතුන් දෙනෙකුට විතරක් ඉන්න හදාගෙන තියෙන පුංචි මාලිගාවල්.
මම හවස වැඩ ඉවරවෙලා ආපසු එන වෙලාවට හරියටම දයාසිරි ගෙවල් ඉස්සරහ පේලියට නවත්වල තියෙන කාර් පේලිය අතර තියෙන එයාගෙ ස්වාමිදුවගෙ කාර් එක හෝදන වෙලාව.කලබල නැති මාවත දිගේ ඇවිත් මම වාහනය නවත්වල ගෙට යනව දයාසිරිට පේනව.උඩම තට්ටුවෙ මගේ කාමරයට ගිහින් ඇඳුම් මාරුකරල ඇඟ හෝදගෙන නාන කාමරයෙන් එලියට ඇවිත් ගිනියම් සුලඟට පොතු ගැලවෙන වේලිච්චි හමට දවසෙ
අන්තිම හමේ සත්කාරය හැටියට ජර්ජන්ස් ක්‍රීම් එක ගාගන්න ගතවෙන වෙලාව විතරයි මට දයාසිරිගෙන් ලැබෙන්නෙ. ඔන්න දයාසිරි දොර ගාව. ඒකත් හොඳයි වෙලාවකට.දයාසිරි ලව්වාම තේ එකත් හදවගන්න පුලුවන්නෙ.
"තේ බිව්වද දයාසිරි...... දාන්නකො දෙන්නටම හොඳ තේ දෙකක්"
ලැපී දේවිය ලඟට අරගගෙන ඔන් කරල එහෙම ලැහැස්ති වෙනගමන් මම කියනව....ලැපී ලඟ ඉඳගත්තට පස්සෙ මම ඉතින් පැය ගානකට නැගිටිනව බොරු. ඒ තරමටම මම මගේ ලැපීදේවියට ආකර්ෂණය වෙලා.
තේ හදන්න වතුර උනුකරගන්න කාමරයෙ තියෙන හීටර් ජෝගුව අරගෙන වතූර කූලර් එක ලඟට යන  දයාසිරි ගැන සංවේදී සිතුවිලි රාශියක් මගේ හිතට ගලාගෙන එන්න පටන් ගත්තා.
හඳුනාගත්තු මුල් දවස්වලම තමන් ගැන හැම දෙයක්ම මගෙත් එක්ක දෙඩෙව්ව.
මම කව්ද කියලවත් නොදැන තමන්ගෙ ජීවිතය ගැන ඉතාමත් පෞද්ගලික දේවල් පවා මගෙත් එක්ක කිව්වෙ ඇයි කියල මට හිතාගන්න බෑ.
වයස අවුරුදු 35 කට වැඩි නැති  දයාසිරි දුප්පත් කමේ පතුලේම ගිලිල හිටිය පවුලක උපන්න කෙනෙක්. උපන්න දා ඉඳල ජීවිතේ මුහුන දීපු අමිහිරි කටුක අත්දකීම් ඔහුගේ රූපකාය පුරා ඉතුරුවෙලා තිබුනා. ඒ හින්දා ඔහු තුලින් පෙනුනෙ අවුරුදු 45 කට වැඩි පුරුෂයෙක්.දරුවො තුන් දෙනෙක් එක්ක අම්මව අතහැරල වෙන පහසක් හොයාගෙන ගිය තාත්තා කෙනෙක් ලෝකෙට නිර්මානය කරපු තවත් එක දුක්බර කතාවක එන චරිතයකට පන දෙනව දයාසිරි.අපිට අකුරු කියවන්න ලියන්න තේරුම් ගිය දා ඉඳල අහල කියවල දැනගෙන තියන දස දහස් ගනනක් වූ අතිශයින් දුක්බර දුප්පත් චරිත ගොන්නට තවත් එක ශෝකාකූල චරිතයක් එකතු කරන්නට මට වුවමනාවක් නෑ.ඒත් අපි මුහුන දෙන, දකින, විඳවන වැඩි හරියක් එවැනි අද්දැකීම්නම් මොනවා කරන්නද . ඒ ඇත්තට පිටුපාල බොරුව තුල විතරක්ම කරකැවෙමින් ඉන්නට පුලුවන් කමක් නෑ. කටුවෙන් එලියට ඔලුව දාල බැලුවම පේන්න තියෙන දේවල් ගැන නොකිය කොහොමද.?

මිනිසුන් තුල තිබෙන ගුණමකු කමේ බරපතලම සාක්ෂිය මට අහන්න ලැබුනෙ දයාසිරිගෙන්.

දයාසිරිගෙ අය්ය පුංචි කාලෙ ඉඳලම පාසැලේ වැඩ වලින් ඉදිරියෙන්ම හිටිය. ඉගෙන ගන්න තිබුනු  දක්ෂකමත් එක්ක ඔහු තුල තිබුන කැපවීම නිසා අම්ම නොවිදිනා දුක් විඳල ඉගැන්නුව. අය්යා විශ්වවිද්‍යාලෙට තේරුන දවසෙ අහිංසක අම්ම ඇඬුව හිතේ සතුට පිටාර ගලන් ගිය හින්ද. ඊටත් වඩා සතුටු වුනේ දයාසිරි.ගෙවුනු කටෝර ජීවිතය පුරාම සතුටක් දැනුන කියල යන්තමටවත් මතකයෙ රැඳිල තියෙන්නෙ එදා දවස විතරමයි. ලොකු කොල්ලට ඉහලට යන්නට උවමනා වියදම දරන්නෙ කොහොමද කියල අම්ම දහඅතේ කල්පනා කරද්දි දයාසිරි අම්මටත් අය්යටත් දෙන්නටම සහනයක් ගෙනවිත් දෙන්නට හිතාගත්තා.සොයුරාගේ ජයග්‍රහනය නිසා හිතට දැනුන උද්දාමය උපරිමයට ලංවුනේ ඒ වනවිට යන්තම් වයස අවුරුදු 12 තරම් වූ පුංචි දරුවෙකුට සිය ලාබාල ජීවිතයේ කලහැකි ඉහලම පරිත්‍යාගය පිලිබඳ තීන්දුවක් අරගෙන.  

දයාසිරි සිය පාසැල් ජීවිතයට ආයුබෝවන් කිව්වා සොහොයුරාට මග විවරකරල දීල.

තමන්ට හීනෙන්වත් හිමිකරගන්නට නොහැකි අනුන්ගෙ වාහනයක සුක්කානම කරකැවීම තම රැකියාව හැටියට තෝරගන්නට සිද්ධවුනේ තමන්ට ලැබෙන්න තිබුන අධ්‍යාපනය අය්යා වෙනුවෙන් කැපකල නිසා  නේද කියල ඔහු අද සිහිකරන්නෙ ඉමහත් දුකෙන් .  

ඔහු කැපකල ඔහුගේ අධ්‍යාපනය පමනක් හිලව් උනේ නෑ අය්යගෙ උපාධියට. විශ්වවිද්‍යාලයෙන් පිටවෙද්දි, මව් උරුමයෙන් ලැබිල අම්මට අයිතිව තිබුන එකම දේපල, පදිංචි නිවස සමග ඉඩම තිබුනෙ උගසෙ.

ඉගෙනීමට වගේම ජීවිතයේ යායුතු දිසාව තෝරාගැනීම පිලිබඳ තිබූ නිසඟ හැකියාව නිසා අය්යා තම ජීවිත සහකාරිය තෝරාගනීමේදී ඉතා හොදින් සංවිධානගත වී සිටියා. පිරිමියෙකු තේරීමේදී යුවතියක් ලඟ තිබෙන සුදුසුකම් ලැයිස්තුවේ අංක එක යටතේ සටහන්ව තිබෙන "කඩවසම් බව" ඔහු තුල උවමනාවටත් වඩා පිහිටා තිබුන නිසා "හය්ය අත්තක්" අල්ලාගැනීම ඔහු සාර්ථකව ඉටුකරගෙන තිබුන.
 
 "අය්ය යාලුවෙලා හිටිය ගෑණු ලමයව අපේ ගෙදරට එක්කගෙන ආවෙ එකම එක දවසයි
උදේම ඇවිල්ල එදාම හවස එයාල ආපසු ගියා"

දයාසිරිගෙ කටහඬ කොහේදෝ ඈතක ඉඳල ඇවිත් මගේ දෙසවන් තුලට ඇතුල්වෙනව වගේ මට දැනුනෙ තේරුම් ගත නොහැකි මිනිස් ජීවිත ගැනම හිතමින් අඳුරු ලෝකයක මම අතරමං වෙල හිටිය හින්ද.

"සේරටම කලින් හොඳ වැසිකිලියක් හදාගන්න ඕනෙ අම්මෙ එයාට මෙහෙ ආවම ඔය ප්‍රශ්නෙ හරියට බලපානවනෙ."

"ඒකනම් ඇත්ත ලොකු පුතේ"

අම්මා ලඟ වැඩිපුර වචන ඉතුරුවෙලා නෑ...ගොලුවෙච්චි හදවතක් විතරයි ඒ වෙද්දි තියෙන්න ඇත්තෙ.

 "ඒ වුනාට එදායින් පස්සේ ආයෙ කවදාවත් එයාලෙ අපේ ගෙදර ආවෙ නෑ."

කලකිරීම එක්ක මුසුවුන ශෝකය ඔහුගේ කටහඬ තුල ගැබ් වෙලා.

''අය්ය කසාද බැඳල තියෙන්නෙ පල්ලියෙ. ගෑනු ලමය ක්‍රිස්තියානි නිසා.
අම්මටවත් මටවත් අපේ පවුලේ දුප්පත් කිසිම නෑයෙක්ටවත් ඒ මගුල ගැන කිව්වෙ නෑ. ඉහල පැලැන්තියට අපි ගැලපුනේ නැතිහින්ද වෙන්න ඇති. සමාජයේ ඉහල තැනකට ඔසවා තියන්නට මේ තරම් වෙහෙසුන අපි ඔහු විවාහ වුන බව දැනගත්තෙත් මාස ගානකට පස්සෙ.''

මෙවැනි කතාවක් පොත පතක කියවන්නට වුනානම් මම නිසැකවම හිතන්නෙ ඒක ප්‍රබන්ධයක් කියල. නමුත් දාසිරිගෙ මුවින් පිටව මගේ දෙසවන් තුලින් ඇතුල් වී හදවත වෙලා ගත්තු මේ කතාව තවත් මෙවැනිම සැඟවී පවතින දහසක් කතා අතර තවත් එක් සත්‍ය කතාවක්.

අය්යාගේ ඉගෙනීම වෙනුවෙන් කල මහත් වූ කැපවීම වෙනුවෙන් අම්මට වැටිල ඉන්න තිබුන ගේ වත් බේරල දෙන්න ඕනෙ කියන කෙලෙහි ගුනය පිලිබඳ අවම සිතුවිල්ලවත් අය්යාගෙ සිතට දැනුනෙ නැති එක ගැන දායාසිරි හිතන්නෙ පුදුමයෙන්.

උගස් තියපු ඉඩම කොහොම හරි බේරගන්න ඕනෙ නිසා දයාසිරි රට ආවා. පොඩි නංගි ඒ වෙනකොටත් ලොකු ලමයෙක් වෙලා. රත්තරන් තියා ඉමිටේශන් කෑලලක්වත් අරගෙන දෙන්න තරම් වත්කමක් තිබුන නෑ  අම්මටවත් දයාසිරිටවත්.
 ඒ නංගිව ගෙනියන්න තමයි දැන් මේ කොල්ලෙක් දෙමව්පියොත් එක්කම ඇවිත් ඉල්ලන්නෙ මේක කෙල්ලගෙ වාසනාව කියල තමයි දයාසිරිගෙ අම්ම මේ කටයුත්තට කැමති වෙලා තියෙන්නෙ.
ඒත් ඇයි මේ කොල්ලගෙ පැත්තෙ අය හදිස්සි කරන්නෙ?.

"කසාදෙ රෙජිස්ටර් කරනව විතරයි. දැන්ම කැන්දාගෙන යන්නෙ නෑ එදාට ගෙදරට එන මනමාලයගෙ පැත්තෙ අයට පුංචියට සංග්‍රහයක් කරනව. එතනදි කතාවක් කරන්නවත් කෙනෙක් නැති හින්ද අම්ම කරන කතාවක් විදිහට ලියල යැව්වොත් කාව හරි දම්මල කියවන්න කියලයි මම හිතුවෙ"

ඒ තමයි දයාසිරිගෙ අහිංසක පැතුම ඉල්ලීමක් හැටියට මගෙ ලඟට ආවෙ.ඉල්ලීම කරල දවස් ගානක් ගතවෙලා තිබුනත් අධික වැඩ රාජකාරි මැද දිනෙන් දින ඒක යටපත් වුනා.මංගල්ලෙට තව සති දෙකයි තියෙන්නෙ කියපු නිසා මම ඉක්මනින් කතාවක් ටයිප් කරල ප්‍රින්ට් කරල දායසිරිට දුන්න තැපැල් කරන්න කියල. මම ඒක දයාසිරිට ඇහෙන්න කියෙව්ව.

 
මනමාල මහතාගේ මවගෙන් සහ පියාගෙන් අවසරයි.

සහෝදර සහෝදරියනි නෑ මිතුරනි.

පැමින සිටින සියලුම අමුත්තනි,

ඉතාමත් චාම් ලෙස සිද්ධවෙන මෙම විවාහ මංගල්ලයට සහභාගි වීමට අපගේ පුංචි නිවහන වෙත පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ පිලිගන්නවා‍‍....

මෙහි පැමින සිටින ඔබ සියලු දෙනාම, අද දිනයේ පටන් අලුතින් එක්වූ ඥාති පරපුරක් හැටියට අපගේ මේ පුංචි පවුලට එකතුවීම ඇත්තෙන්ම අපට මහත් ආඩම්බරයක්. ඒ වගේම එය අප ලැබූ මහත් ගෞරවයක් හැටියටයි අපි සලකන්නේ

එම ආඩම්බරය අපට විඳගන්නට මඟ පාදාදුන් ඔබ‍තුමන්ලාගේ පිංවත් පුතනුවන් හා අපගේ මෙ‍ම දයාබර දියනියගේ එක්වීම සනිටුහන් කරන මේ මංගල අවස්ථාවේ මනාලියගේ පාර්ශවයෙන් කෙරෙන පුංචි කතාවක් හැටියටඔබ අමතන්නට මට අවසර දෙන්න.

ලෝකයේ පවතින නීතියට එකඟව වෙලා නෑදෑ සමූහයා ඉදිරියේ කඩදාසියක දෙදෙනෙක් අත්සන් කරලා අඹුසැමියන් ලෙස දිවි ගෙවන්නට ගිවිස ගත්තු පමනින්ම දෙන්නෙක්ගෙ විවාහ ජීවිතය සාර්තක වෙන්නේ නැති බව මේ ලෝකය දිහා ඇස් ඇරගෙන බලා ඉන්න අපිට හොඳ හැටි පෙනෙන්න තියෙන දෙයක්.

එම නිසා අපි හැමෝම එකතු වෙලා අද දින මේ කරපු සුභ කටයුත්ත ජීවිත කාලය පුරාම සාර්ථකව පවතින්නනම් දෙදෙනා විසින්ම එක විදිහටම පිලිපැදිය යුතු වගකීම් සහ යුතුකම් රාශියක් තියෙන බව නිතරම සිහියේ තබාගත යුතුයි.

 එයින් පලමු වැන්න හැටියට පිලිපැදිය යුතු යුතුකම හා වගකීම වන්නේ එකිනෙකා කෙරෙහි අද දවසේ මේ මොහොතේ ඔබ දෙදෙනා තුල පවතින ආදර බැඳීම මේ ජීවිත කාලය පුරාම පමනක් නොවෙයි ඊලඟ බවය දක්වාම රැගෙන යන්නට අදිෂ්ඨාන කරගෙන ඒ වෙනුවෙන් ම කැපවී සිටීමයි. දෙදෙනා විසින්ම ඒ වෙනුවෙන් කලයුතු කැපකිරීම අතිවිශාලයි.

තරුන වියේදී යොවුන් සිතක නිරන්තරයෙන් පහලවෙන  සිතුවිලි සමඟ අනිකා කෙරෙහි ඇතිවෙන ආකර්ශනය පමනක් ආදරය හැටියට වැරදියට තේරුම් අරගත්තු අය පසු කාලයේ ජීවිත වලට ප්‍රශ්න ඇති කරගන්නවා අපි අනන්තවත් දැකල අහල තියෙනවා.

ඒ නිසා පලමුවවරට එකිනෙකා ඇස ගැටුන දවසේ පටන් අද දක්වා පවතින ඒ ආදර හැඟීම් දිනෙන් දින වර්ධනය කරගෙන කිසිදා පලුදු නොවෙන සිත් දෙකක් ලෙස නොකඩවා රැකගෙන යන බවට දෙදෙනාගේම සිත් තුලින් සපත කරගෙන ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන ලෙස මේ මොහොතේ මම ඔබ දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

එක් අයෙකුගෙන් සිදුවෙන සුලු වැරදි අනිත් කෙනා ඉවසීමත් සාර්ථක ජීවිතයකට අවශ්‍යම දෙයක්.ඒ වගේම දෙදෙනාම දෙදෙනා කෙරෙහි අද දවසේ පවතින විශ්වාසය ඉතාමත් ඉහලින් රැකගතයුතුයි. එකිනෙකා කෙරෙහි අවිස්වාසය ඇතිකර ගැනීම තරම් විවාහ ජීවිත දෙදරා යාමට හේතු වෙන විෂබීජයක් තවත් නොමැති තරම්. ඒ නිසා ඔබ දෙදෙනාම මේවා හොඳින් සිතේ ධාරණය කරගන්න ඕනෙ මේ මොහොතේ සිටම.

දරුවන් දෙදෙනෙක්ව ඔවුන්ගේ අදහස් වලට එකඟව එකතැන් කරන්නට මව් පිය වැඩිහිටියන් හැකි අයුරින් සෑම සියලු දෙයක්ම ඉටු කර දුන්නාට පසුව දරුවන්ගේ ජීවිතවලට ඇතිකරන බලපෑම අවසන් කෙරෙන බව මතක තබාගන්න. එතැන් පටන් ඔබ දෙදෙනා එක්ව යන ගමන් මගේ සියලු බාදක කම්කටොලු මෙන්ම සතුට සොම්නසද දෙදෙනා විසින්ම වගකීම් සහිතව දරාගත යුතු බව හොඳින් මතක තබාගන්න.  මෙහි මේ මොහොතේ රැඳී සිටින සියලු දෙනා විසිරී ගියාට පසුව මේ සිදුකල විවාහයේ සියලු වගකිම් උසුලා දරාගෙන ඔබ දෙදෙනාගේ මතු ජීවිතය සාර්ථක කර ගැනීම ඔබ අත පමනක්ම ඉතුරු වෙන බව සිහිපත්කර ගන්න.

මේ ලොකයේ ඉන්න හොඳම දියනිය අපි ඔබතුමන්ලාට අයිති කර දුන්නා කියල මම මේ මොහොතේ කියන්න යන්නෙ නෑ. වයසින් නොමේරූ, මුහුකුරා නොගිය ජීවිත අත්දැකීම් වලින් තවමත් ලාබාල දැරියක් වූ අපගේ දියනිය අතින් සුලු වරදක් හෝ සිදුවුනොත් ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙන් දරු සෙනෙහස සිත්වල දරාගෙන ඇයට සමාව දෙන මෙන් අපි ඔබ තුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

අපගේ දියනියට අපි හැමදමත් දෙන අවවාදය අද මේ සභාව ඉදිරියේදිත් ලබාදිය යුතුයි කියල මට හිතෙනවා.

කෙනෙකුට මේ ලොකේ තියෙන උතුම්ම වස්තුව වෙන්නෙ තමන්ට මෙලොව එලිය ලබාදුන්  තමන්ගෙ අම්මා.

මෙලොවට බිහිකරපු දා ඉඳල වචන වලින් කියල නිම කරන්න බැරි තරම් දුක් කන්දරාවක් උහුලාගනිමින්, සුවහසක් කැපකිරීම් කරල කවල පොවල ලොකුමහත් කරල යහපත් දරුවෙක් හැටියට ලෝකය බලන්න කියල දුන්න ඒ මෑණියන්ට තමන් තුල තියෙන ආදරය,දයාව සහ භක්තිය ඒ ආකාරයෙන්ම අංසු මාත්‍රයකවත් අඩුවක් නොමැතිව තමන්ව විවාහ කරගත්තු ස්වාමි පුරුෂයාගෙ මවටත් ලබා දිය යුතු බවට ඉතා තදින්ම සිතට ගන්නට ඕනෙ. ඒ වගේම එම පියානන් ඇතුලු සහෝදර සහෝදරයින් තමන්ගේම අය විදියට සලකන්නට හිතට අරගන්නට ඕනේ.

එහිම අනිත් පැත්ත ඒ ආකාරයෙන්ම මනමාල මහතාටත් අදාල වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙයි කියල මම හිතන්නෙ නෑ.

මේ කතාව අවසාන කරන්නට පෙර තවත් කාරනයක් මතක් කලයුතුමයි.

අද මෙහි පැමිනි ඔබ තුමන්ලාව පිලිඅරගෙන අපට හැකි අයුරින් කරන ලද ආගන්තුක සත්කාර අතරතුර අපගේ මෙම නිවස තුලදී අප අතින් කුමන හෝ අතපසුවීමක් අඩුපාඩුවක් සිද්ධ වුනානම් ඒ වෙනුවෙන් අපට දහස් වාරයක් සමා වෙන්න කියල මම ඉල්ලා සිටිනවා .

එසේනම් ඔබ දෙපොල අදින් අරඹන අලුත් ජීවිතය සිතූ පැතූ ආකාරයෙන්ම සාර්ථක වී කරන කියන සෑම කටයුත්තකම යහපත් අයුරින් ඉටුවෙන වාසනාවන්ත එකක් වේවායි අපි සියල්ලෝමෙ එකතු වී ප්‍රාර්ථනා කරමු.

මෙම මංගල කටයුත්ත සාර්ථක කරගන්නට අත හිත දීල අද මෙහි පැමිනි ඔබ සෑම සියලු දෙනාටත් අනේක වාරයක් ස්තූති කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් මට නවතින්නට අවසරයි.

තමන්ගෙ එකම නංගි විවාපත්වෙන දවසෙ පිටස්තරයෙකු විසින් කොලයක් බලාගෙන කියවන අන් කෙනෙකු විසින් ලියපු කතාව අහගෙන හිටපු  ඔහුගේ මුහුනේ තිබුනේ දුකක්ද,කලකිරීමක්ද, සතුටක්ද  කියල මට හිතාගන්න බැරිවුනා.

සිද්ධිය එතනින් අවසන් උනා. දයාසිරි වෙනද වගේම නිතර ආව ගියා මගෙ කාමරයට.
එහෙම ආපු වෙලාවක දයාසිරිගෙ නංගිගෙ මගුල ගැන මට මතක් වුන නිසා ඒ ගැන මම ඇහුව....

"මේ රටේ මලඉලව් තැපෑලනෙ..... මගෙ අතින්ම තැපැල් කරපු ලියුමනෙ ...
ඒක හම්බවෙලා නෑ මහත්තය."
"අපේ රටේ ඉලව් තැපෑලෙන්ද දන්නෙ නෑ ඒක නැතිවුනේ....
මගෙ හිතට එහෙම දැනුනට මම ඒක කියන්න ගියෙ නෑ."





















Saturday, January 7, 2012

නංගිට හරිගිහින්.......

අලුත් අවුරුද්දෙ පහුගිය ටිකේම කෙරුවෙ බ්ලොග් ගම්මානය පුරාම ගිහින් හැමෝගෙම පෝස්ට් වල තිබුන අවුරුදු සුභපැතුම් වලට එසේම වේවා කියන එක විතරමනෙ.
මාසෙකට එකක්වත් අඩුමගානෙ නොලිව්වොත් ඉතින් මේ අටවගත්තු ගෙඹි විමානෙට පස් පුරවල වහල දාන්නනෙ වෙන්නෙ. 
ඒ හින්ද ඔන්න හාපුරා කියල ජනවාරි මාසෙට ගෙම්බා හීනියට එකක් කොටන්න ගත්තා.

මීට කලින් මම වැඩකරපු තැන මට නවාතැන් පහසුකම් සපයා තිබුනේ නගරයේ ඇතුලත ටිකක් විතර ඉහල පැලැන්තියේ නිවාස පිහිටා තියෙන පලාතකින්.
ලංකාවෙ හැටියට කියනවනම් කොළඹ කුරුඳුවත්ත පැත්තෙ වාගෙ.වසර දෙකක කුලී පදනමකට කුලියට අරගත්තු තට්ටු හතරක් තියෙන විශාල නිවසක උඩම තට්ටුවෙ පාර පැත්තට තියෙන තනි පුංචි කාමරයක්  තමයි මට ලැබුනේ. ඒකට අවශ්‍යම  කරන අඩුම කුඩුම ටිකත්  එක එක හොයාගෙන මගේ පුංචි තනිකඩ මාලිගාව හදාගත්ත.මම කියන පිලිවෙලට ඒක හරියට මැවෙන්නෙ නැත්නම් පොඩි පොටෝ එකක් දාන්නම්කො  



මම ඉන්න තැනට කිට්ටුව විශාල නිවසක ගෘහ රියදුරු රැකියාවක් කරන ලංකාවෙ කෙනෙක් මම උදේ හවස වැඩට යන එන වෙලාවල් වලදි මාව දැකල කතා බස් කරල මාත් එක්ක හිතවත් වෙලා හිටිය.
එයා වැඩ කරපු ගෙදර ඒ හැටි කරදර තැනක් නොවෙයි. මහ විශාල ගෙයක් වුනාට ඒ ගෙදර ඉන්නෙ ස්වාමිදුවයි පාසල් යන වයසෙ (අවු; 8 ක විතර )පිරිමි දරුවෙක් සහ ගෙදර වැඩට කාන්තාවකුත් විතරයිලු. 
මගේ මේ අසල්වැසි මිත්‍රයා කියපු විස්තරයට අනුව මේ ගෙදර පිරිමි මනුස්සය මෙහෙට එන්නේ සතියකට වතාවක් විතරයි.ඒ ආවත් ගේ ඇතුලට වදිනව විතරයිලු දකින්නෙ.පිටවෙලා යන වෙලාවක් දන්නෙ නෑ උදේ බලනකොට මිනිහ නෑ. ඒකට හේතුව ඒ මනුස්සයගේ කසාද බිරිඳට හොරෙන් පවුල් කන අනියම් බිරිඳලු මෙහේ ඉන්නෙ. ඒ ස්වාමි දුවගේ ලමය ස්කෝලෙට ගෙනියන ගේන එකයි ඒ බවලතාව දැලේ දාගන්න එන අනිත් ගොබිලන්ගෙන් ප්‍රවේසම් කරගෙන හන්දෑවට සාප්පු සංකීරණ පුරා එක්කගෙන යන එක විතරයි මෙයාට කරන්න තිබුන රාජකාරිය
කියන්න යන කතාව මේක නොවෙයිනෙ...
මගේ ඔය අසල්වැසි හිතවතා දවසක් මගෙන් උදව්වක් ඉල්ලුව. හිටිය ගමන් ඇවිත් පඩිය තවම ලැබුනෙ නෑ කියල ගෙදරට යවන්න මගෙන් සල්ලි එහෙම නයට ඉල්ලනවා. කෙනෙක් උදව්වක් ඉල්ලන්නෙ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නිසා මගේ ලඟ නොතිබුනොත් කාගෙන් හරි ඉල්ලගෙන හරි මම මිනිහට දෙනව.

" කියන්න දයාසිරි මොනවද කෙරෙන්න ඕනා"
මගෙ අතෙත් එදා සල්ලි නොතිබුනත් කාගෙන් හරි ඉල්ලගෙන දෙන්න මට පුලුවන් නිසා මම දයාසිරිට අනුබල  දුන්න.
"මට පොඩි කතාවක් ලියල දෙන්න මහත්තයො.."
කතාවක්? මේ මනුස්සයා කාටද මේ රටේ කතාවක් කරන්න හදන්නෙ එම්බසියෙවත් මොනව හරි උත්සවයක් තියෙන බවට ආරංචියක් එහෙම තිබුනෙත් නෑ .
එහෙම හිත හිත මම දයාසිරිගෙ මූන දිහ බලාගෙන හිටියා
 "මගේ නංගි ගාමන්ට් එකකනෙ වැඩට ගියේ.
යන එනකොට පස්සෙන් ඇවිත් කොල්ලෙක් ඒකිව දැලේ දාගෙන"

"ඉතින්"

ඒකි කියල ගෙදරට ඇවිත් අම්මලගෙන් අහන්න කියල.

"එහෙම නේන්නම් වෙන්න ඕනෙ" මම කටින් එහෙම කියල හිතෙන් හිතුවෙ "නංගි හොඳ කෙල්ලෙක් වෙන්න ඇති" කියල.
"අම්මා කැමති වෙලා කොල්ලට. අම්මා කොල්ලට කියල උගේ දෙමවුපියො එක්කාගෙන එන්න කියලා."

''දැන් ටික දවසකට කලින් කොල්ලගෙ දෙමව්පියො දෙන්නා අපේ ගෙදරට ඇවිත් නංගිව ඉල්ලල. ඒ අය අපිට වඩා යමක් කමක් තියෙන උදවිය.''

"කොල්ල කුලියට ගත්තු දෙමව්පියො දෙන්නෙක්ද දන්නෙ නෑ එක්කගෙන ඇවිත් තියෙන්න" මම එහෙම කිව්වෙ නෑ හිතුනට. දයාසිරිගෙ හිත රිදුනොත්.

මම මොකුත් නොකිය අහගෙන හිටියා. දයාසිරිගෙ වෙනදා තිබුන සැහැල්ලු පෙනුම අද නෑ. මහා බරක් හිසමත තියාගෙන ඉන්නව වාගෙ හිත ඇතුලෙ තියෙන නොඉවසිලිවන්ත කම මූනෙන් බේරෙනවා කියල මට හිතුනා.

දයාසිරි මට කියපු විස්තරේ ඉතුරු හරිය
වෙන දවසක කියන්නම්.....