-->

Friday, January 13, 2012

ඔන්න ඒ පාර මගුලක් කතාකරනවා.....



මගෙ අසල්වැසි හිතවතෙක් වෙච්චි දයාසිරි, මගෙන් උදව්වක් ඉල්ලගෙන ආවනෙ.එයාව නිමිත්ත කරගෙන මම පුංචි කතාවක් කියන්න පටන් ගත්තනෙ දයාසිරිගෙ .....නංගිට හරිගිහින්..... කියල. මම කියන්න ගත්තු ඒ පුංචි කතාවෙ ඉතුරු හරියත් අදම කියල ඉවරයක් කරන්න හිතුව ඔන්න...
එහෙම හිතෙන්න හේතුව වුනේ ඒක කියවන්න මැඬියගෙ විමානෙට ගොඩවැදිච්චි දෙතුන් දෙනා කපාපු දෙහි කැපිල්ල මගෙ අම්මෝ එහෙමත් බැනුමක්. ආවෙ කී දෙනාද ආපු හැමෝම බැන්නනෙ.
මම ඒක කියන්න පටන් ගත්තු විදිහට මෙගා එකක් කියලත් සමහරුන්ට හිතිල තිබුන.
අපොයි මොන පිස්සුවක්ද එච්චර දුරක් කොහෙ යන්නද .මෙගා ලියනව තියා මේ නිකන් වල්පල් ටිකවත් කොටන්න විඳින දුක දන්නෙ මමනෙ.
හිතේ අමනාපෙන් නොවෙයිනෙ මේ බනින්නෙ. හිතල බැලුව ටිකක් ඇත්ත නේන්නම් එකකින් චුට්ටක් එලියට දාල ඉතුරු ටික බලන්න ආයෙ මාසයක් බලාඉන්න වුනාම මල වදයක්නෙ. මතක් කරගන්න ආයෙම මුල එක හොයන් යන්න එපායැ.
ඇරත් කජු කාලෙට රෑට මහ කජුගස් යට කජු වැටෙනව වාගෙ දවස ගානෙ පෝස්ටු වැටෙනව දැන් මේ බ්ලොග් ගම්මානෙ පුරාම. ඕවා සේරම අහුලන්නත් එපායැ අප්පා. 
ඒ විදියට ලැජ්ජා කොරපු හින්ද කොහොම හරි ලියන්න ඕනේ කියල හිතට හයියක් ආවා නේන්නම්. අලස හිත අවදි කරපු බ්ලොග් ගම්මානයේ ජේෂ්ඨයින්ට ස්තුති කරනව ඇත්තටම. අර බොක්කද මොකක්ද කියන්නෙ ...අන්න ඒකෙන්ම මමත්. ආයෙ මොකටද
_________________________________

දයාසිරි ඉන්නෙ මම ඉන්න ගෙදර තියෙන පාරෙම ගෙවල් තුනකට එහායින්... මම ඉන්න පැත්තට විරුද්ද පැත්තෙ. ගෙවල් තුනක් කිව්වට ඉතින් ගෙවල් තුන මැනල ඉවරවෙන්න කිලෝමීටරයක් විතර යන්න තියෙනවනෙ.අපිටනම් පවුල් තුන හතරකට ඉන්න පුලුවන් තරම් විශාලයිනෙ මෙහෙ දෙතුන් දෙනෙකුට විතරක් ඉන්න හදාගෙන තියෙන පුංචි මාලිගාවල්.
මම හවස වැඩ ඉවරවෙලා ආපසු එන වෙලාවට හරියටම දයාසිරි ගෙවල් ඉස්සරහ පේලියට නවත්වල තියෙන කාර් පේලිය අතර තියෙන එයාගෙ ස්වාමිදුවගෙ කාර් එක හෝදන වෙලාව.කලබල නැති මාවත දිගේ ඇවිත් මම වාහනය නවත්වල ගෙට යනව දයාසිරිට පේනව.උඩම තට්ටුවෙ මගේ කාමරයට ගිහින් ඇඳුම් මාරුකරල ඇඟ හෝදගෙන නාන කාමරයෙන් එලියට ඇවිත් ගිනියම් සුලඟට පොතු ගැලවෙන වේලිච්චි හමට දවසෙ
අන්තිම හමේ සත්කාරය හැටියට ජර්ජන්ස් ක්‍රීම් එක ගාගන්න ගතවෙන වෙලාව විතරයි මට දයාසිරිගෙන් ලැබෙන්නෙ. ඔන්න දයාසිරි දොර ගාව. ඒකත් හොඳයි වෙලාවකට.දයාසිරි ලව්වාම තේ එකත් හදවගන්න පුලුවන්නෙ.
"තේ බිව්වද දයාසිරි...... දාන්නකො දෙන්නටම හොඳ තේ දෙකක්"
ලැපී දේවිය ලඟට අරගගෙන ඔන් කරල එහෙම ලැහැස්ති වෙනගමන් මම කියනව....ලැපී ලඟ ඉඳගත්තට පස්සෙ මම ඉතින් පැය ගානකට නැගිටිනව බොරු. ඒ තරමටම මම මගේ ලැපීදේවියට ආකර්ෂණය වෙලා.
තේ හදන්න වතුර උනුකරගන්න කාමරයෙ තියෙන හීටර් ජෝගුව අරගෙන වතූර කූලර් එක ලඟට යන  දයාසිරි ගැන සංවේදී සිතුවිලි රාශියක් මගේ හිතට ගලාගෙන එන්න පටන් ගත්තා.
හඳුනාගත්තු මුල් දවස්වලම තමන් ගැන හැම දෙයක්ම මගෙත් එක්ක දෙඩෙව්ව.
මම කව්ද කියලවත් නොදැන තමන්ගෙ ජීවිතය ගැන ඉතාමත් පෞද්ගලික දේවල් පවා මගෙත් එක්ක කිව්වෙ ඇයි කියල මට හිතාගන්න බෑ.
වයස අවුරුදු 35 කට වැඩි නැති  දයාසිරි දුප්පත් කමේ පතුලේම ගිලිල හිටිය පවුලක උපන්න කෙනෙක්. උපන්න දා ඉඳල ජීවිතේ මුහුන දීපු අමිහිරි කටුක අත්දකීම් ඔහුගේ රූපකාය පුරා ඉතුරුවෙලා තිබුනා. ඒ හින්දා ඔහු තුලින් පෙනුනෙ අවුරුදු 45 කට වැඩි පුරුෂයෙක්.දරුවො තුන් දෙනෙක් එක්ක අම්මව අතහැරල වෙන පහසක් හොයාගෙන ගිය තාත්තා කෙනෙක් ලෝකෙට නිර්මානය කරපු තවත් එක දුක්බර කතාවක එන චරිතයකට පන දෙනව දයාසිරි.අපිට අකුරු කියවන්න ලියන්න තේරුම් ගිය දා ඉඳල අහල කියවල දැනගෙන තියන දස දහස් ගනනක් වූ අතිශයින් දුක්බර දුප්පත් චරිත ගොන්නට තවත් එක ශෝකාකූල චරිතයක් එකතු කරන්නට මට වුවමනාවක් නෑ.ඒත් අපි මුහුන දෙන, දකින, විඳවන වැඩි හරියක් එවැනි අද්දැකීම්නම් මොනවා කරන්නද . ඒ ඇත්තට පිටුපාල බොරුව තුල විතරක්ම කරකැවෙමින් ඉන්නට පුලුවන් කමක් නෑ. කටුවෙන් එලියට ඔලුව දාල බැලුවම පේන්න තියෙන දේවල් ගැන නොකිය කොහොමද.?

මිනිසුන් තුල තිබෙන ගුණමකු කමේ බරපතලම සාක්ෂිය මට අහන්න ලැබුනෙ දයාසිරිගෙන්.

දයාසිරිගෙ අය්ය පුංචි කාලෙ ඉඳලම පාසැලේ වැඩ වලින් ඉදිරියෙන්ම හිටිය. ඉගෙන ගන්න තිබුනු  දක්ෂකමත් එක්ක ඔහු තුල තිබුන කැපවීම නිසා අම්ම නොවිදිනා දුක් විඳල ඉගැන්නුව. අය්යා විශ්වවිද්‍යාලෙට තේරුන දවසෙ අහිංසක අම්ම ඇඬුව හිතේ සතුට පිටාර ගලන් ගිය හින්ද. ඊටත් වඩා සතුටු වුනේ දයාසිරි.ගෙවුනු කටෝර ජීවිතය පුරාම සතුටක් දැනුන කියල යන්තමටවත් මතකයෙ රැඳිල තියෙන්නෙ එදා දවස විතරමයි. ලොකු කොල්ලට ඉහලට යන්නට උවමනා වියදම දරන්නෙ කොහොමද කියල අම්ම දහඅතේ කල්පනා කරද්දි දයාසිරි අම්මටත් අය්යටත් දෙන්නටම සහනයක් ගෙනවිත් දෙන්නට හිතාගත්තා.සොයුරාගේ ජයග්‍රහනය නිසා හිතට දැනුන උද්දාමය උපරිමයට ලංවුනේ ඒ වනවිට යන්තම් වයස අවුරුදු 12 තරම් වූ පුංචි දරුවෙකුට සිය ලාබාල ජීවිතයේ කලහැකි ඉහලම පරිත්‍යාගය පිලිබඳ තීන්දුවක් අරගෙන.  

දයාසිරි සිය පාසැල් ජීවිතයට ආයුබෝවන් කිව්වා සොහොයුරාට මග විවරකරල දීල.

තමන්ට හීනෙන්වත් හිමිකරගන්නට නොහැකි අනුන්ගෙ වාහනයක සුක්කානම කරකැවීම තම රැකියාව හැටියට තෝරගන්නට සිද්ධවුනේ තමන්ට ලැබෙන්න තිබුන අධ්‍යාපනය අය්යා වෙනුවෙන් කැපකල නිසා  නේද කියල ඔහු අද සිහිකරන්නෙ ඉමහත් දුකෙන් .  

ඔහු කැපකල ඔහුගේ අධ්‍යාපනය පමනක් හිලව් උනේ නෑ අය්යගෙ උපාධියට. විශ්වවිද්‍යාලයෙන් පිටවෙද්දි, මව් උරුමයෙන් ලැබිල අම්මට අයිතිව තිබුන එකම දේපල, පදිංචි නිවස සමග ඉඩම තිබුනෙ උගසෙ.

ඉගෙනීමට වගේම ජීවිතයේ යායුතු දිසාව තෝරාගැනීම පිලිබඳ තිබූ නිසඟ හැකියාව නිසා අය්යා තම ජීවිත සහකාරිය තෝරාගනීමේදී ඉතා හොදින් සංවිධානගත වී සිටියා. පිරිමියෙකු තේරීමේදී යුවතියක් ලඟ තිබෙන සුදුසුකම් ලැයිස්තුවේ අංක එක යටතේ සටහන්ව තිබෙන "කඩවසම් බව" ඔහු තුල උවමනාවටත් වඩා පිහිටා තිබුන නිසා "හය්ය අත්තක්" අල්ලාගැනීම ඔහු සාර්ථකව ඉටුකරගෙන තිබුන.
 
 "අය්ය යාලුවෙලා හිටිය ගෑණු ලමයව අපේ ගෙදරට එක්කගෙන ආවෙ එකම එක දවසයි
උදේම ඇවිල්ල එදාම හවස එයාල ආපසු ගියා"

දයාසිරිගෙ කටහඬ කොහේදෝ ඈතක ඉඳල ඇවිත් මගේ දෙසවන් තුලට ඇතුල්වෙනව වගේ මට දැනුනෙ තේරුම් ගත නොහැකි මිනිස් ජීවිත ගැනම හිතමින් අඳුරු ලෝකයක මම අතරමං වෙල හිටිය හින්ද.

"සේරටම කලින් හොඳ වැසිකිලියක් හදාගන්න ඕනෙ අම්මෙ එයාට මෙහෙ ආවම ඔය ප්‍රශ්නෙ හරියට බලපානවනෙ."

"ඒකනම් ඇත්ත ලොකු පුතේ"

අම්මා ලඟ වැඩිපුර වචන ඉතුරුවෙලා නෑ...ගොලුවෙච්චි හදවතක් විතරයි ඒ වෙද්දි තියෙන්න ඇත්තෙ.

 "ඒ වුනාට එදායින් පස්සේ ආයෙ කවදාවත් එයාලෙ අපේ ගෙදර ආවෙ නෑ."

කලකිරීම එක්ක මුසුවුන ශෝකය ඔහුගේ කටහඬ තුල ගැබ් වෙලා.

''අය්ය කසාද බැඳල තියෙන්නෙ පල්ලියෙ. ගෑනු ලමය ක්‍රිස්තියානි නිසා.
අම්මටවත් මටවත් අපේ පවුලේ දුප්පත් කිසිම නෑයෙක්ටවත් ඒ මගුල ගැන කිව්වෙ නෑ. ඉහල පැලැන්තියට අපි ගැලපුනේ නැතිහින්ද වෙන්න ඇති. සමාජයේ ඉහල තැනකට ඔසවා තියන්නට මේ තරම් වෙහෙසුන අපි ඔහු විවාහ වුන බව දැනගත්තෙත් මාස ගානකට පස්සෙ.''

මෙවැනි කතාවක් පොත පතක කියවන්නට වුනානම් මම නිසැකවම හිතන්නෙ ඒක ප්‍රබන්ධයක් කියල. නමුත් දාසිරිගෙ මුවින් පිටව මගේ දෙසවන් තුලින් ඇතුල් වී හදවත වෙලා ගත්තු මේ කතාව තවත් මෙවැනිම සැඟවී පවතින දහසක් කතා අතර තවත් එක් සත්‍ය කතාවක්.

අය්යාගේ ඉගෙනීම වෙනුවෙන් කල මහත් වූ කැපවීම වෙනුවෙන් අම්මට වැටිල ඉන්න තිබුන ගේ වත් බේරල දෙන්න ඕනෙ කියන කෙලෙහි ගුනය පිලිබඳ අවම සිතුවිල්ලවත් අය්යාගෙ සිතට දැනුනෙ නැති එක ගැන දායාසිරි හිතන්නෙ පුදුමයෙන්.

උගස් තියපු ඉඩම කොහොම හරි බේරගන්න ඕනෙ නිසා දයාසිරි රට ආවා. පොඩි නංගි ඒ වෙනකොටත් ලොකු ලමයෙක් වෙලා. රත්තරන් තියා ඉමිටේශන් කෑලලක්වත් අරගෙන දෙන්න තරම් වත්කමක් තිබුන නෑ  අම්මටවත් දයාසිරිටවත්.
 ඒ නංගිව ගෙනියන්න තමයි දැන් මේ කොල්ලෙක් දෙමව්පියොත් එක්කම ඇවිත් ඉල්ලන්නෙ මේක කෙල්ලගෙ වාසනාව කියල තමයි දයාසිරිගෙ අම්ම මේ කටයුත්තට කැමති වෙලා තියෙන්නෙ.
ඒත් ඇයි මේ කොල්ලගෙ පැත්තෙ අය හදිස්සි කරන්නෙ?.

"කසාදෙ රෙජිස්ටර් කරනව විතරයි. දැන්ම කැන්දාගෙන යන්නෙ නෑ එදාට ගෙදරට එන මනමාලයගෙ පැත්තෙ අයට පුංචියට සංග්‍රහයක් කරනව. එතනදි කතාවක් කරන්නවත් කෙනෙක් නැති හින්ද අම්ම කරන කතාවක් විදිහට ලියල යැව්වොත් කාව හරි දම්මල කියවන්න කියලයි මම හිතුවෙ"

ඒ තමයි දයාසිරිගෙ අහිංසක පැතුම ඉල්ලීමක් හැටියට මගෙ ලඟට ආවෙ.ඉල්ලීම කරල දවස් ගානක් ගතවෙලා තිබුනත් අධික වැඩ රාජකාරි මැද දිනෙන් දින ඒක යටපත් වුනා.මංගල්ලෙට තව සති දෙකයි තියෙන්නෙ කියපු නිසා මම ඉක්මනින් කතාවක් ටයිප් කරල ප්‍රින්ට් කරල දායසිරිට දුන්න තැපැල් කරන්න කියල. මම ඒක දයාසිරිට ඇහෙන්න කියෙව්ව.

 
මනමාල මහතාගේ මවගෙන් සහ පියාගෙන් අවසරයි.

සහෝදර සහෝදරියනි නෑ මිතුරනි.

පැමින සිටින සියලුම අමුත්තනි,

ඉතාමත් චාම් ලෙස සිද්ධවෙන මෙම විවාහ මංගල්ලයට සහභාගි වීමට අපගේ පුංචි නිවහන වෙත පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ පිලිගන්නවා‍‍....

මෙහි පැමින සිටින ඔබ සියලු දෙනාම, අද දිනයේ පටන් අලුතින් එක්වූ ඥාති පරපුරක් හැටියට අපගේ මේ පුංචි පවුලට එකතුවීම ඇත්තෙන්ම අපට මහත් ආඩම්බරයක්. ඒ වගේම එය අප ලැබූ මහත් ගෞරවයක් හැටියටයි අපි සලකන්නේ

එම ආඩම්බරය අපට විඳගන්නට මඟ පාදාදුන් ඔබ‍තුමන්ලාගේ පිංවත් පුතනුවන් හා අපගේ මෙ‍ම දයාබර දියනියගේ එක්වීම සනිටුහන් කරන මේ මංගල අවස්ථාවේ මනාලියගේ පාර්ශවයෙන් කෙරෙන පුංචි කතාවක් හැටියටඔබ අමතන්නට මට අවසර දෙන්න.

ලෝකයේ පවතින නීතියට එකඟව වෙලා නෑදෑ සමූහයා ඉදිරියේ කඩදාසියක දෙදෙනෙක් අත්සන් කරලා අඹුසැමියන් ලෙස දිවි ගෙවන්නට ගිවිස ගත්තු පමනින්ම දෙන්නෙක්ගෙ විවාහ ජීවිතය සාර්තක වෙන්නේ නැති බව මේ ලෝකය දිහා ඇස් ඇරගෙන බලා ඉන්න අපිට හොඳ හැටි පෙනෙන්න තියෙන දෙයක්.

එම නිසා අපි හැමෝම එකතු වෙලා අද දින මේ කරපු සුභ කටයුත්ත ජීවිත කාලය පුරාම සාර්ථකව පවතින්නනම් දෙදෙනා විසින්ම එක විදිහටම පිලිපැදිය යුතු වගකීම් සහ යුතුකම් රාශියක් තියෙන බව නිතරම සිහියේ තබාගත යුතුයි.

 එයින් පලමු වැන්න හැටියට පිලිපැදිය යුතු යුතුකම හා වගකීම වන්නේ එකිනෙකා කෙරෙහි අද දවසේ මේ මොහොතේ ඔබ දෙදෙනා තුල පවතින ආදර බැඳීම මේ ජීවිත කාලය පුරාම පමනක් නොවෙයි ඊලඟ බවය දක්වාම රැගෙන යන්නට අදිෂ්ඨාන කරගෙන ඒ වෙනුවෙන් ම කැපවී සිටීමයි. දෙදෙනා විසින්ම ඒ වෙනුවෙන් කලයුතු කැපකිරීම අතිවිශාලයි.

තරුන වියේදී යොවුන් සිතක නිරන්තරයෙන් පහලවෙන  සිතුවිලි සමඟ අනිකා කෙරෙහි ඇතිවෙන ආකර්ශනය පමනක් ආදරය හැටියට වැරදියට තේරුම් අරගත්තු අය පසු කාලයේ ජීවිත වලට ප්‍රශ්න ඇති කරගන්නවා අපි අනන්තවත් දැකල අහල තියෙනවා.

ඒ නිසා පලමුවවරට එකිනෙකා ඇස ගැටුන දවසේ පටන් අද දක්වා පවතින ඒ ආදර හැඟීම් දිනෙන් දින වර්ධනය කරගෙන කිසිදා පලුදු නොවෙන සිත් දෙකක් ලෙස නොකඩවා රැකගෙන යන බවට දෙදෙනාගේම සිත් තුලින් සපත කරගෙන ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන ලෙස මේ මොහොතේ මම ඔබ දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

එක් අයෙකුගෙන් සිදුවෙන සුලු වැරදි අනිත් කෙනා ඉවසීමත් සාර්ථක ජීවිතයකට අවශ්‍යම දෙයක්.ඒ වගේම දෙදෙනාම දෙදෙනා කෙරෙහි අද දවසේ පවතින විශ්වාසය ඉතාමත් ඉහලින් රැකගතයුතුයි. එකිනෙකා කෙරෙහි අවිස්වාසය ඇතිකර ගැනීම තරම් විවාහ ජීවිත දෙදරා යාමට හේතු වෙන විෂබීජයක් තවත් නොමැති තරම්. ඒ නිසා ඔබ දෙදෙනාම මේවා හොඳින් සිතේ ධාරණය කරගන්න ඕනෙ මේ මොහොතේ සිටම.

දරුවන් දෙදෙනෙක්ව ඔවුන්ගේ අදහස් වලට එකඟව එකතැන් කරන්නට මව් පිය වැඩිහිටියන් හැකි අයුරින් සෑම සියලු දෙයක්ම ඉටු කර දුන්නාට පසුව දරුවන්ගේ ජීවිතවලට ඇතිකරන බලපෑම අවසන් කෙරෙන බව මතක තබාගන්න. එතැන් පටන් ඔබ දෙදෙනා එක්ව යන ගමන් මගේ සියලු බාදක කම්කටොලු මෙන්ම සතුට සොම්නසද දෙදෙනා විසින්ම වගකීම් සහිතව දරාගත යුතු බව හොඳින් මතක තබාගන්න.  මෙහි මේ මොහොතේ රැඳී සිටින සියලු දෙනා විසිරී ගියාට පසුව මේ සිදුකල විවාහයේ සියලු වගකිම් උසුලා දරාගෙන ඔබ දෙදෙනාගේ මතු ජීවිතය සාර්ථක කර ගැනීම ඔබ අත පමනක්ම ඉතුරු වෙන බව සිහිපත්කර ගන්න.

මේ ලොකයේ ඉන්න හොඳම දියනිය අපි ඔබතුමන්ලාට අයිති කර දුන්නා කියල මම මේ මොහොතේ කියන්න යන්නෙ නෑ. වයසින් නොමේරූ, මුහුකුරා නොගිය ජීවිත අත්දැකීම් වලින් තවමත් ලාබාල දැරියක් වූ අපගේ දියනිය අතින් සුලු වරදක් හෝ සිදුවුනොත් ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙන් දරු සෙනෙහස සිත්වල දරාගෙන ඇයට සමාව දෙන මෙන් අපි ඔබ තුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

අපගේ දියනියට අපි හැමදමත් දෙන අවවාදය අද මේ සභාව ඉදිරියේදිත් ලබාදිය යුතුයි කියල මට හිතෙනවා.

කෙනෙකුට මේ ලොකේ තියෙන උතුම්ම වස්තුව වෙන්නෙ තමන්ට මෙලොව එලිය ලබාදුන්  තමන්ගෙ අම්මා.

මෙලොවට බිහිකරපු දා ඉඳල වචන වලින් කියල නිම කරන්න බැරි තරම් දුක් කන්දරාවක් උහුලාගනිමින්, සුවහසක් කැපකිරීම් කරල කවල පොවල ලොකුමහත් කරල යහපත් දරුවෙක් හැටියට ලෝකය බලන්න කියල දුන්න ඒ මෑණියන්ට තමන් තුල තියෙන ආදරය,දයාව සහ භක්තිය ඒ ආකාරයෙන්ම අංසු මාත්‍රයකවත් අඩුවක් නොමැතිව තමන්ව විවාහ කරගත්තු ස්වාමි පුරුෂයාගෙ මවටත් ලබා දිය යුතු බවට ඉතා තදින්ම සිතට ගන්නට ඕනෙ. ඒ වගේම එම පියානන් ඇතුලු සහෝදර සහෝදරයින් තමන්ගේම අය විදියට සලකන්නට හිතට අරගන්නට ඕනේ.

එහිම අනිත් පැත්ත ඒ ආකාරයෙන්ම මනමාල මහතාටත් අදාල වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙයි කියල මම හිතන්නෙ නෑ.

මේ කතාව අවසාන කරන්නට පෙර තවත් කාරනයක් මතක් කලයුතුමයි.

අද මෙහි පැමිනි ඔබ තුමන්ලාව පිලිඅරගෙන අපට හැකි අයුරින් කරන ලද ආගන්තුක සත්කාර අතරතුර අපගේ මෙම නිවස තුලදී අප අතින් කුමන හෝ අතපසුවීමක් අඩුපාඩුවක් සිද්ධ වුනානම් ඒ වෙනුවෙන් අපට දහස් වාරයක් සමා වෙන්න කියල මම ඉල්ලා සිටිනවා .

එසේනම් ඔබ දෙපොල අදින් අරඹන අලුත් ජීවිතය සිතූ පැතූ ආකාරයෙන්ම සාර්ථක වී කරන කියන සෑම කටයුත්තකම යහපත් අයුරින් ඉටුවෙන වාසනාවන්ත එකක් වේවායි අපි සියල්ලෝමෙ එකතු වී ප්‍රාර්ථනා කරමු.

මෙම මංගල කටයුත්ත සාර්ථක කරගන්නට අත හිත දීල අද මෙහි පැමිනි ඔබ සෑම සියලු දෙනාටත් අනේක වාරයක් ස්තූති කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් මට නවතින්නට අවසරයි.

තමන්ගෙ එකම නංගි විවාපත්වෙන දවසෙ පිටස්තරයෙකු විසින් කොලයක් බලාගෙන කියවන අන් කෙනෙකු විසින් ලියපු කතාව අහගෙන හිටපු  ඔහුගේ මුහුනේ තිබුනේ දුකක්ද,කලකිරීමක්ද, සතුටක්ද  කියල මට හිතාගන්න බැරිවුනා.

සිද්ධිය එතනින් අවසන් උනා. දයාසිරි වෙනද වගේම නිතර ආව ගියා මගෙ කාමරයට.
එහෙම ආපු වෙලාවක දයාසිරිගෙ නංගිගෙ මගුල ගැන මට මතක් වුන නිසා ඒ ගැන මම ඇහුව....

"මේ රටේ මලඉලව් තැපෑලනෙ..... මගෙ අතින්ම තැපැල් කරපු ලියුමනෙ ...
ඒක හම්බවෙලා නෑ මහත්තය."
"අපේ රටේ ඉලව් තැපෑලෙන්ද දන්නෙ නෑ ඒක නැතිවුනේ....
මගෙ හිතට එහෙම දැනුනට මම ඒක කියන්න ගියෙ නෑ."





















Saturday, January 7, 2012

නංගිට හරිගිහින්.......

අලුත් අවුරුද්දෙ පහුගිය ටිකේම කෙරුවෙ බ්ලොග් ගම්මානය පුරාම ගිහින් හැමෝගෙම පෝස්ට් වල තිබුන අවුරුදු සුභපැතුම් වලට එසේම වේවා කියන එක විතරමනෙ.
මාසෙකට එකක්වත් අඩුමගානෙ නොලිව්වොත් ඉතින් මේ අටවගත්තු ගෙඹි විමානෙට පස් පුරවල වහල දාන්නනෙ වෙන්නෙ. 
ඒ හින්ද ඔන්න හාපුරා කියල ජනවාරි මාසෙට ගෙම්බා හීනියට එකක් කොටන්න ගත්තා.

මීට කලින් මම වැඩකරපු තැන මට නවාතැන් පහසුකම් සපයා තිබුනේ නගරයේ ඇතුලත ටිකක් විතර ඉහල පැලැන්තියේ නිවාස පිහිටා තියෙන පලාතකින්.
ලංකාවෙ හැටියට කියනවනම් කොළඹ කුරුඳුවත්ත පැත්තෙ වාගෙ.වසර දෙකක කුලී පදනමකට කුලියට අරගත්තු තට්ටු හතරක් තියෙන විශාල නිවසක උඩම තට්ටුවෙ පාර පැත්තට තියෙන තනි පුංචි කාමරයක්  තමයි මට ලැබුනේ. ඒකට අවශ්‍යම  කරන අඩුම කුඩුම ටිකත්  එක එක හොයාගෙන මගේ පුංචි තනිකඩ මාලිගාව හදාගත්ත.මම කියන පිලිවෙලට ඒක හරියට මැවෙන්නෙ නැත්නම් පොඩි පොටෝ එකක් දාන්නම්කො  



මම ඉන්න තැනට කිට්ටුව විශාල නිවසක ගෘහ රියදුරු රැකියාවක් කරන ලංකාවෙ කෙනෙක් මම උදේ හවස වැඩට යන එන වෙලාවල් වලදි මාව දැකල කතා බස් කරල මාත් එක්ක හිතවත් වෙලා හිටිය.
එයා වැඩ කරපු ගෙදර ඒ හැටි කරදර තැනක් නොවෙයි. මහ විශාල ගෙයක් වුනාට ඒ ගෙදර ඉන්නෙ ස්වාමිදුවයි පාසල් යන වයසෙ (අවු; 8 ක විතර )පිරිමි දරුවෙක් සහ ගෙදර වැඩට කාන්තාවකුත් විතරයිලු. 
මගේ මේ අසල්වැසි මිත්‍රයා කියපු විස්තරයට අනුව මේ ගෙදර පිරිමි මනුස්සය මෙහෙට එන්නේ සතියකට වතාවක් විතරයි.ඒ ආවත් ගේ ඇතුලට වදිනව විතරයිලු දකින්නෙ.පිටවෙලා යන වෙලාවක් දන්නෙ නෑ උදේ බලනකොට මිනිහ නෑ. ඒකට හේතුව ඒ මනුස්සයගේ කසාද බිරිඳට හොරෙන් පවුල් කන අනියම් බිරිඳලු මෙහේ ඉන්නෙ. ඒ ස්වාමි දුවගේ ලමය ස්කෝලෙට ගෙනියන ගේන එකයි ඒ බවලතාව දැලේ දාගන්න එන අනිත් ගොබිලන්ගෙන් ප්‍රවේසම් කරගෙන හන්දෑවට සාප්පු සංකීරණ පුරා එක්කගෙන යන එක විතරයි මෙයාට කරන්න තිබුන රාජකාරිය
කියන්න යන කතාව මේක නොවෙයිනෙ...
මගේ ඔය අසල්වැසි හිතවතා දවසක් මගෙන් උදව්වක් ඉල්ලුව. හිටිය ගමන් ඇවිත් පඩිය තවම ලැබුනෙ නෑ කියල ගෙදරට යවන්න මගෙන් සල්ලි එහෙම නයට ඉල්ලනවා. කෙනෙක් උදව්වක් ඉල්ලන්නෙ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නිසා මගේ ලඟ නොතිබුනොත් කාගෙන් හරි ඉල්ලගෙන හරි මම මිනිහට දෙනව.

" කියන්න දයාසිරි මොනවද කෙරෙන්න ඕනා"
මගෙ අතෙත් එදා සල්ලි නොතිබුනත් කාගෙන් හරි ඉල්ලගෙන දෙන්න මට පුලුවන් නිසා මම දයාසිරිට අනුබල  දුන්න.
"මට පොඩි කතාවක් ලියල දෙන්න මහත්තයො.."
කතාවක්? මේ මනුස්සයා කාටද මේ රටේ කතාවක් කරන්න හදන්නෙ එම්බසියෙවත් මොනව හරි උත්සවයක් තියෙන බවට ආරංචියක් එහෙම තිබුනෙත් නෑ .
එහෙම හිත හිත මම දයාසිරිගෙ මූන දිහ බලාගෙන හිටියා
 "මගේ නංගි ගාමන්ට් එකකනෙ වැඩට ගියේ.
යන එනකොට පස්සෙන් ඇවිත් කොල්ලෙක් ඒකිව දැලේ දාගෙන"

"ඉතින්"

ඒකි කියල ගෙදරට ඇවිත් අම්මලගෙන් අහන්න කියල.

"එහෙම නේන්නම් වෙන්න ඕනෙ" මම කටින් එහෙම කියල හිතෙන් හිතුවෙ "නංගි හොඳ කෙල්ලෙක් වෙන්න ඇති" කියල.
"අම්මා කැමති වෙලා කොල්ලට. අම්මා කොල්ලට කියල උගේ දෙමවුපියො එක්කාගෙන එන්න කියලා."

''දැන් ටික දවසකට කලින් කොල්ලගෙ දෙමව්පියො දෙන්නා අපේ ගෙදරට ඇවිත් නංගිව ඉල්ලල. ඒ අය අපිට වඩා යමක් කමක් තියෙන උදවිය.''

"කොල්ල කුලියට ගත්තු දෙමව්පියො දෙන්නෙක්ද දන්නෙ නෑ එක්කගෙන ඇවිත් තියෙන්න" මම එහෙම කිව්වෙ නෑ හිතුනට. දයාසිරිගෙ හිත රිදුනොත්.

මම මොකුත් නොකිය අහගෙන හිටියා. දයාසිරිගෙ වෙනදා තිබුන සැහැල්ලු පෙනුම අද නෑ. මහා බරක් හිසමත තියාගෙන ඉන්නව වාගෙ හිත ඇතුලෙ තියෙන නොඉවසිලිවන්ත කම මූනෙන් බේරෙනවා කියල මට හිතුනා.

දයාසිරි මට කියපු විස්තරේ ඉතුරු හරිය
වෙන දවසක කියන්නම්.....



 


Sunday, December 4, 2011

පෙරේතකම

මැඩිය විමානේ අටවා ගත්තාට මොකද කිසිදෙයක් තවමත් ලියන්න බැරිඋනානේ.

නිදහසට කාරණා නම් කියන්න යන්නේ නෑ නොලිය ඉන්න අනිත් අයට කට්ටිය බැනල තියෙන හැටි දකින නිසා.
කොහොම උනත් ලියන්න ගත්තු ටිකත් බ්ලොගයේ ඩ්‍රාෆ්ට්  එකේ එහෙම පිටින්ම මුල් ඇදල පැලවෙලා
හින්ද ඔන්න මගේ අජිත් දිසානායක කියල යාලුවෙක් මට එවපු ඊයක තිබුන කතාවක් පෝස්ට් කරන්න හිතුව
මේකත් ඉතින් ඔය හුඟක් අය දැකල කියවල ඇති. ඒත් නොදැකපු අයත් ඇතිනේ මමනම් දැක්කෙ අදමයි......
රසවත් නිසා බෙදාගන්න හිතුවා....

►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා. මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල්දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා. මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස,

¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි.
•මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.
•මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ‍ගේ සුදුසුකම් ඉහල යයි.
•ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක්  තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.
•ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

ඉතින් ඔන්න ලසසන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂ‍යෙක්  මිලදී ගන්න.
පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහම බෝඩ් එකක් ගහල තිබුනා.

►පලමු මහල:     මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.

පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවනි මහලට ගියා,දෙවනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.

►දෙවනි මහල:-   මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.      

දෙවනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා,තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහම කතාවක්.

►තුන්වෙනි මහල :-    මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදෙර් කරයි,බෙහෙවින් කඩවසම්ය.

තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා..ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.
සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දො‍රෙත් බෝඩ් එකක් තිබුනා.

►හතර‍වෙනි මහල:-    මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදරෙ දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.

"අනේ දෙවියනේ මේ ලෝකේ මෙහම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා.අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා. පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.

►පස්වෙනි මහල:-    මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට   බෙහෙවින් ආදෙර් කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි,සෑම
 දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.

පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා..සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා...අනාගත සැමියා ගැන සිහින මැව්වා.ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.
අන්තිම මහලට ඒ කියන්නේ හයෙවනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්,ඒකෙ මෙහමයි තිබුනේ.

►හය වෙනි මහල:    ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක්  නොමැත.මෙම හයවෙනි මහල පිහිටුවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි.
ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!!

කොල්ලොන්ට→ බලලා හිනා වෙන්නයි
කෙල්ලොන්ට → තමන් ගැන සත්‍ය දැන ගන්නයි

Tuesday, November 22, 2011

අප්‍රාණික වීම


මට පහුගිය ටිකේ මේ පැත්තෙ පැත්තෙ පස් පාගන්න බැරිවුනා...
අනේ මං ගැන අහිතක් හිතන්න එපා. හිටිගමන් නිකම් හිටිය සේරටම හරියන්න ඇරියනෙ කට්ට කන්න අලුත් ප්‍රො‍ජෙක්ට් එකකට. ඔහොම තමයි වැඩ කරන එකාමනෙ තැලෙන්නෙ හැම තැනින්ම. මොනවා කරන්නද අදිනවා හිටු කියල. 
කලින් කොටල නවත්තල ඩ්‍රාෆ්ටුවෙ තිබුන එකක් ඔන්න ඇදල දැම්ම. 
________________________________________________________


සෞදි අරාබියේ රියාද්  වල මගේ කාමරේ.

තප්පරයක්වත් එහාට මෙහාට නොවී හරියට වෙලාවට තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන මගේ එලාම් ඔරලෝසුව මාව ඇහෙරෙව්වා.

 

මට හිතාගන්න බෑ මොකද උනේ කියල .
 

නිදි ඇඳේ ඉඳගෙනම ඇස් දෙක පිහදාල බැලුව මම මේ දකින්නේ හීනයක්ද කියල .
 

නෑ....
 

හීනයක් නොවෙයි. මම මේ ඉන්නේ අවදිවෙලා.
 

දෙයියනේ.....
 

මගේ ඇඳේ මගේ ලඟ හිටිය එයා නෑ.
 

හිත කොයිතරම් කලබල උනාද කිව්වොත්  මගේ සිරුර  අප්‍රාණික වෙලා ගියා. සිහිය විකල් උනා.
 

මම හැමතැනම. හෙව්වා ආ ගියා අතක් නෑ.

කෙනෙකුගේ ජීවිතේ විශාල වෙනසක් සිද්ධ වෙන්න කොයිතරම් කෙටි කාලයක්ද ඕනෙවෙන්නේ.


මගෙත් එක්ක ආපු දවසේ ඉඳල මගේ දුක සැප බලාගෙන මගේ සෙවනැල්ල වාගේ ළඟටම වෙලා හිටිය හැටි දිගින් දිගටම මතක් වෙන්න පටන් ගත්තා.

 

කවදාවත්ම මාව තනි නොකර බලාගත්තේ ඇස් දෙක වාගේ .
මම වැඩ ඉවරවෙලා ඇවිල්ල රෑ මැදියමත් ගෙවෙනතුරු ලැප්ටොප් එකට ඇස් හිරකරගෙන, මම මගේ ලෝකෙට වැදිලා, පිටස්තර ලෝකයේ මට ලෙන්ගතු වුන අයට මම ලංවෙලා ඉද්දි,
මගේ ළඟටම වෙලා ඒ දිහා බලා හිටිය මිසක් කවරදාකවත්  වචනයක් පිටකලේ නෑ.


මම කරන කියන හැමදෙයක්ම නොදැන හිටියාමත් නොවෙයි. මගේ සතුටට ඉඩදී ඒ හැමදෙයක්ම උපේක්ෂාවෙන් බලාහිටිය බව මම දන්නවා.
 

මේ තනි කාමරයෙන් පිට කොහේ කියල දැන් මම හොයන්නද?. 

කාමරයේ වූ  පුටුවේ වාඩිවී, සිදුවෙන්නට ඇත්තේ කුමක්දැයි සිතන්නට මම උත්සාහ කලා.

 

මට හොඳටම මතකයි අවසාන වතාවට ඊයෙ රෑ නිදාගන්න සූදානම් වෙලා ඇඟ පත හෝදගන්න නානකාමරයට ගිහින් මම එලියට එද්දිත් මගේ ලැප්ටොප් එක ලඟට වෙලා බලාගෙන හිටිය. 
හැමදාමත් මම නොවැරදීම අනුන්ට අයිති අනුන්ගේ දුක සැප හොයන්න ලැප්ටොප් එක ලඟ වාඩිවෙන බව දන දැනත් ඒ ඇස් වල අහිතක් ගෑවිලාවත් තිබුනේ නෑ.

මගේ ඔලුව තෝන්තු වෙලා. හිසේ අත් ගසාගෙන තවමත් කල්පනා කරනවා. වැඩට යන්නට වෙලාවත් හරි. තවම මූණ හෝදලත් නෑ තේ බීලත් නෑ.

 

අනුන්ගේ රටක අනුන් යටතේ බාරගත් රැකියාවේ වගකීම්.

දෙයියනේ මම කොහොමද දැන් යන්නේ මගේ රැකියාවට. තව ටිකකින් මගේ පෝන් එකට කෝල්ස් එන්න පටන් ගනීවි.

අප්‍රාණික ගත වාරු කරගෙන බිතිය අල්ලාගෙන මම නාන කාමරයට ගියේ මූණ කට හෝදගන්න ඕන නිසා.

දෙයියන්ට ඔප්පුවෙචාවේ........


මෙන්න එයා බාත් රූම් එකේ....


කොතනද?

මූන බලන කන්නාඩිය ලඟ රැක් එකේ.

වෙනදට කාමරේ ගලවල තියල ගියාට මොකද ඊයෙ රෑ අමතක වෙලා 

ඇඟ හෝදන්න  නාන කාමරයට යද්දි  දාගෙන ගිහින් ගලවල තියපු ගමන්.

මගේ ඇස් කන්නාඩි දෙක.....

Friday, November 18, 2011

නැවතත් " ගෙම්බො "

"මේ කාලෙට වැස්සනෙ...ගෙම්බන්ගෙ සංගීතේ පටන් ගන්න  කාලේ...දිල්ටත් ඇහෙනවා ගෙම්බන්ගෙ බක බක සංගීත නාදේ...එක එක තාලෙට... එක එක තාලේ ගෙම්බන්ගෙන්......"

මගේ පපුව ගැහෙන්න තියාගත්ත ඒ බ්ලොගය කියවද්දී. 
පෙරුම් පුරාගෙන ඉඳල තටමල තටමල මම හදාගත්ත බ්ලොග් එකට දාගත්තේ Desertfrog  කියල නමක්. 

අවරුදු ගානක් තිස්සේ වැලි කතරටම කඹුරලා ජීවිතේ  දියවෙලා ගෙම්බෙක් වගේ වෙච්චි නිසා ඒ නම හොඳටම ගැලපෙනවා කියල හිතාගෙන බොහොම උජාරුවෙන් ඉඳල  බ්ලොගය හිස් අතින්ම එලියට දැම්ම විතරයි. 

මෙන්න මට කෝචෝක්   එකක්.   

"අර කිව්වත් වගේ අපේ අතරත් එක එක තාලේ අමුතු ගෙම්බෝ මොන තරමක් ඉන්නවද...නිකම් ඉන්න බැරුවට බඩ පුම්බලා උඩ පනින උන් ද....කොහෙට හරි වෙලා " බක බක " ගාන උන්ද...ආයෙ ඉතින් ගෙම්බන්ට වෙන වැඩක් තියෙන එකක්යෑ බක බක ගානවට වඩා..... " 

මට හිතාගන්නත් බෑ මේ අවකාසේ එකතුවෙලා ඉන්න කට්ටියට දිවැස් තියෙනවද කියල. 

අවකාසේනේ සැරිසරන්නේ. 

එක එක තාලේ අමුතු ගෙම්බෝ පනින්න පටන් අරන් කියල ඔන්න ගෙම්බෝ ගැනම ලියල දාලනේ. 

"සුන්දර කන්ද උඩරටින්" බ්ලොග් අවකාසේ තරණය කරාපු දලකාරියක් ගෙම්බව චප්ප කෙරුව කියලම තමයි එක පාරටම හිතුනේ. 

මං වගේ බ්ලොග් කන්ද නගින්න පටන් ගත්තු කෝඩුකාරයෙක් කිව්වානම් ඒත් කමක් නෑනේ.  

යකඩ හිතක් තියෙන බොහොම සරල කෙනෙක් වෙච්චි දිල් ඇත්තිගේ ලස්සනට ලියවෙච්චි ලිපි ඒ වෙනකොට කියවන්න පටන් අරගෙන තිබුනේ මම. එව්ව හරිම ආසාවෙන් කියෙව්වෙ. මේ ඉසව්වෙ ජනප්‍රියම චරිතනේ.  
ඒ හින්දමනේ ඒ තරමට බය හිතුනේ.  

ඇත්තටම ඒක හරියට අර ‍කරන්න බැරි දේවල් කරන්න යනකොට දැනෙනවා වගේ බයක්නෙ. 

පිටින් එහෙම දැනුනට හිත ඇතුලෙන් දැනගෙන හිටියනෙ බ්ලොක් ලෝකයේ එකට එක්කාසු වෙලා ඉන්න දැවැන්තයෝ ටික අපි වගේ අයට හැකිපමනින් අතදෙන හිත හොඳ ‍ස‍හෟදයන් පිරිසක් කියල.

ආධුනික අය වුනත් සහෝදර බැම්මකින් බැඳිලනෙ ඉන්නෙ.   

හැමදෙයක්ම වෙන්නෙ හොඳට කියල ගත්තම ඒකත් හොඳයි. දිල් නෝන වගේ ඉදිරි පෙල ක්‍රීඩා කරන පලපුරුදු කෙනෙකගෙ උදව්වෙන්ම ඔන්න මමත් පිටියට බැස්ස. 

කුලුඳුල් පෝස්ට් එක දාන විදිහ හිත හිත ඉන්නකොට එහෙම කෙනෙක්ගෙ අත්වාරුව ලැබුන එකත් ගෙම්බ දියට දාන්නද කියල ඇහුව වගේ එකක්නෙ. ...ආ සොරි සොරි ඒ ඉබ්බ නේ... 

මගේ අම්මෝ මම හිතුවා මම විතරයි ඉන්නේ කියල මේ ලෝකෙටම. බලාන යනකොට ගෙඹි වර්ග 25000 ක් විතර ඉන්නවලු.

දිල් නෝනා එහෙනම් දාගන්න වැලිකතරින් එලියට ආපු වැලිගෙම්බත් එක්ක 25001 ඕං  එහෙනම්.....


ගිහිල්ලම බැලුවනම්..... .එක එක තාලේ අමුතුම " ගෙම්බෝ "


Wednesday, November 16, 2011

ටිකක් ඉන්න....

Desertfrog still on his way. 
he is new to weblog pls give him time. 
normaly frogs are very slow.
ගෙම්බා තවම වැඩ ඉවර නෑ........
මැඬියො සයිබර් ගැන වැඩි යමක් දන්නෙත් නෑනෙ ඉක්මනට එනතුරු චුට්ටක් ඉවසනවද..... ?
Please
 (මැඬියො ඉතින් කොහොමත් හෙමින්නෙ)