අලුත් අවුරුද්දෙ පහුගිය ටිකේම කෙරුවෙ බ්ලොග් ගම්මානය පුරාම ගිහින් හැමෝගෙම පෝස්ට් වල තිබුන අවුරුදු සුභපැතුම් වලට එසේම වේවා කියන එක විතරමනෙ.
මාසෙකට එකක්වත් අඩුමගානෙ නොලිව්වොත් ඉතින් මේ අටවගත්තු ගෙඹි විමානෙට පස් පුරවල වහල දාන්නනෙ වෙන්නෙ.
මාසෙකට එකක්වත් අඩුමගානෙ නොලිව්වොත් ඉතින් මේ අටවගත්තු ගෙඹි විමානෙට පස් පුරවල වහල දාන්නනෙ වෙන්නෙ.
ඒ හින්ද ඔන්න හාපුරා කියල ජනවාරි මාසෙට ගෙම්බා හීනියට එකක් කොටන්න ගත්තා.
මීට කලින් මම වැඩකරපු තැන මට නවාතැන් පහසුකම් සපයා තිබුනේ නගරයේ ඇතුලත ටිකක් විතර ඉහල පැලැන්තියේ නිවාස පිහිටා තියෙන පලාතකින්.
ලංකාවෙ හැටියට කියනවනම් කොළඹ කුරුඳුවත්ත පැත්තෙ වාගෙ.වසර දෙකක කුලී පදනමකට කුලියට අරගත්තු තට්ටු හතරක් තියෙන විශාල නිවසක උඩම තට්ටුවෙ පාර පැත්තට තියෙන තනි පුංචි කාමරයක් තමයි මට ලැබුනේ. ඒකට අවශ්‍යම කරන අඩුම කුඩුම ටිකත් එක එක හොයාගෙන මගේ පුංචි තනිකඩ මාලිගාව හදාගත්ත.මම කියන පිලිවෙලට ඒක හරියට මැවෙන්නෙ නැත්නම් පොඩි පොටෝ එකක් දාන්නම්කො
මම ඉන්න තැනට කිට්ටුව විශාල නිවසක ගෘහ රියදුරු රැකියාවක් කරන ලංකාවෙ කෙනෙක් මම උදේ හවස වැඩට යන එන වෙලාවල් වලදි මාව දැකල කතා බස් කරල මාත් එක්ක හිතවත් වෙලා හිටිය.
එයා වැඩ කරපු ගෙදර ඒ හැටි කරදර තැනක් නොවෙයි. මහ විශාල ගෙයක් වුනාට ඒ ගෙදර ඉන්නෙ ස්වාමිදුවයි පාසල් යන වයසෙ (අවු; 8 ක විතර )පිරිමි දරුවෙක් සහ ගෙදර වැඩට කාන්තාවකුත් විතරයිලු.
මගේ මේ අසල්වැසි මිත්‍රයා කියපු විස්තරයට අනුව මේ ගෙදර පිරිමි මනුස්සය මෙහෙට එන්නේ සතියකට වතාවක් විතරයි.ඒ ආවත් ගේ ඇතුලට වදිනව විතරයිලු දකින්නෙ.පිටවෙලා යන වෙලාවක් දන්නෙ නෑ උදේ බලනකොට මිනිහ නෑ. ඒකට හේතුව ඒ මනුස්සයගේ කසාද බිරිඳට හොරෙන් පවුල් කන අනියම් බිරිඳලු මෙහේ ඉන්නෙ. ඒ ස්වාමි දුවගේ ලමය ස්කෝලෙට ගෙනියන ගේන එකයි ඒ බවලතාව දැලේ දාගන්න එන අනිත් ගොබිලන්ගෙන් ප්‍රවේසම් කරගෙන හන්දෑවට සාප්පු සංකීරණ පුරා එක්කගෙන යන එක විතරයි මෙයාට කරන්න තිබුන රාජකාරිය
කියන්න යන කතාව මේක නොවෙයිනෙ...
මගේ ඔය අසල්වැසි හිතවතා දවසක් මගෙන් උදව්වක් ඉල්ලුව. හිටිය ගමන් ඇවිත් පඩිය තවම ලැබුනෙ නෑ කියල ගෙදරට යවන්න මගෙන් සල්ලි එහෙම නයට ඉල්ලනවා. කෙනෙක් උදව්වක් ඉල්ලන්නෙ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නිසා මගේ ලඟ නොතිබුනොත් කාගෙන් හරි ඉල්ලගෙන හරි මම මිනිහට දෙනව.
" කියන්න දයාසිරි මොනවද කෙරෙන්න ඕනා"
මගෙ අතෙත් එදා සල්ලි නොතිබුනත් කාගෙන් හරි ඉල්ලගෙන දෙන්න මට පුලුවන් නිසා මම දයාසිරිට අනුබල දුන්න.
"මට පොඩි කතාවක් ලියල දෙන්න මහත්තයො.."
කතාවක්? මේ මනුස්සයා කාටද මේ රටේ කතාවක් කරන්න හදන්නෙ එම්බසියෙවත් මොනව හරි උත්සවයක් තියෙන බවට ආරංචියක් එහෙම තිබුනෙත් නෑ .
එහෙම හිත හිත මම දයාසිරිගෙ මූන දිහ බලාගෙන හිටියා
"මගේ නංගි ගාමන්ට් එකකනෙ වැඩට ගියේ.
යන එනකොට පස්සෙන් ඇවිත් කොල්ලෙක් ඒකිව දැලේ දාගෙන"
"ඉතින්"
ඒකි කියල ගෙදරට ඇවිත් අම්මලගෙන් අහන්න කියල.
"එහෙම නේන්නම් වෙන්න ඕනෙ" මම කටින් එහෙම කියල හිතෙන් හිතුවෙ "නංගි හොඳ කෙල්ලෙක් වෙන්න ඇති" කියල.
"අම්මා කැමති වෙලා කොල්ලට. අම්මා කොල්ලට කියල උගේ දෙමවුපියො එක්කාගෙන එන්න කියලා."
''දැන් ටික දවසකට කලින් කොල්ලගෙ දෙමව්පියො දෙන්නා අපේ ගෙදරට ඇවිත් නංගිව ඉල්ලල. ඒ අය අපිට වඩා යමක් කමක් තියෙන උදවිය.''
"කොල්ල කුලියට ගත්තු දෙමව්පියො දෙන්නෙක්ද දන්නෙ නෑ එක්කගෙන ඇවිත් තියෙන්න" මම එහෙම කිව්වෙ නෑ හිතුනට. දයාසිරිගෙ හිත රිදුනොත්.
මම මොකුත් නොකිය අහගෙන හිටියා. දයාසිරිගෙ වෙනදා තිබුන සැහැල්ලු පෙනුම අද නෑ. මහා බරක් හිසමත තියාගෙන ඉන්නව වාගෙ හිත ඇතුලෙ තියෙන නොඉවසිලිවන්ත කම මූනෙන් බේරෙනවා කියල මට හිතුනා.
දයාසිරි මට කියපු විස්තරේ ඉතුරු හරිය
වෙන දවසක කියන්නම්.....
