මගෙ අසල්වැසි හිතවතෙක් වෙච්චි දයාසිරි, මගෙන් උදව්වක් ඉල්ලගෙන ආවනෙ.එයාව නිමිත්ත කරගෙන මම පුංචි කතාවක් කියන්න පටන් ගත්තනෙ දයාසිරිගෙ .....
නංගිට හරිගිහින්..... කියල. මම කියන්න ගත්තු ඒ පුංචි කතාවෙ ඉතුරු හරියත් අදම කියල ඉවරයක් කරන්න හිතුව ඔන්න...
එහෙම හිතෙන්න හේතුව වුනේ ඒක කියවන්න මැඬියගෙ විමානෙට ගොඩවැදිච්චි දෙතුන් දෙනා කපාපු දෙහි කැපිල්ල මගෙ අම්මෝ එහෙමත් බැනුමක්. ආවෙ කී දෙනාද ආපු හැමෝම බැන්නනෙ.
මම ඒක කියන්න පටන් ගත්තු විදිහට මෙගා එකක් කියලත් සමහරුන්ට හිතිල තිබුන.
අපොයි මොන පිස්සුවක්ද එච්චර දුරක් කොහෙ යන්නද .මෙගා ලියනව තියා මේ නිකන් වල්පල් ටිකවත් කොටන්න විඳින දුක දන්නෙ මමනෙ.
හිතේ අමනාපෙන් නොවෙයිනෙ මේ බනින්නෙ. හිතල බැලුව ටිකක් ඇත්ත නේන්නම් එකකින් චුට්ටක් එලියට දාල ඉතුරු ටික බලන්න ආයෙ මාසයක් බලාඉන්න වුනාම මල වදයක්නෙ. මතක් කරගන්න ආයෙම මුල එක හොයන් යන්න එපායැ.
ඇරත් කජු කාලෙට රෑට මහ කජුගස් යට කජු වැටෙනව වාගෙ දවස ගානෙ පෝස්ටු වැටෙනව දැන් මේ බ්ලොග් ගම්මානෙ පුරාම. ඕවා සේරම අහුලන්නත් එපායැ අප්පා.
ඒ විදියට ලැජ්ජා කොරපු හින්ද කොහොම හරි ලියන්න ඕනේ කියල හිතට හයියක් ආවා නේන්නම්. අලස හිත අවදි කරපු බ්ලොග් ගම්මානයේ ජේෂ්ඨයින්ට ස්තුති කරනව ඇත්තටම. අර බොක්කද මොකක්ද කියන්නෙ ...අන්න ඒකෙන්ම මමත්. ආයෙ මොකටද
_________________________________
දයාසිරි ඉන්නෙ මම ඉන්න ගෙදර තියෙන පාරෙම ගෙවල් තුනකට එහායින්... මම ඉන්න පැත්තට විරුද්ද පැත්තෙ. ගෙවල් තුනක් කිව්වට ඉතින් ගෙවල් තුන මැනල ඉවරවෙන්න කිලෝමීටරයක් විතර යන්න තියෙනවනෙ.අපිටනම් පවුල් තුන හතරකට ඉන්න පුලුවන් තරම් විශාලයිනෙ මෙහෙ දෙතුන් දෙනෙකුට විතරක් ඉන්න හදාගෙන තියෙන පුංචි මාලිගාවල්.
මම හවස වැඩ ඉවරවෙලා ආපසු එන වෙලාවට හරියටම දයාසිරි ගෙවල් ඉස්සරහ පේලියට නවත්වල තියෙන කාර් පේලිය අතර තියෙන එයාගෙ ස්වාමිදුවගෙ කාර් එක හෝදන වෙලාව.කලබල නැති මාවත දිගේ ඇවිත් මම වාහනය නවත්වල ගෙට යනව දයාසිරිට පේනව.උඩම තට්ටුවෙ මගේ කාමරයට ගිහින් ඇඳුම් මාරුකරල ඇඟ හෝදගෙන නාන කාමරයෙන් එලියට ඇවිත් ගිනියම් සුලඟට පොතු ගැලවෙන වේලිච්චි හමට දවසෙ
අන්තිම හමේ සත්කාරය හැටියට ජර්ජන්ස් ක්‍රීම් එක ගාගන්න ගතවෙන වෙලාව විතරයි මට දයාසිරිගෙන් ලැබෙන්නෙ. ඔන්න දයාසිරි දොර ගාව. ඒකත් හොඳයි වෙලාවකට.දයාසිරි ලව්වාම තේ එකත් හදවගන්න පුලුවන්නෙ.
"තේ බිව්වද දයාසිරි...... දාන්නකො දෙන්නටම හොඳ තේ දෙකක්"
ලැපී දේවිය ලඟට අරගගෙන ඔන් කරල එහෙම ලැහැස්ති වෙනගමන් මම කියනව....ලැපී ලඟ ඉඳගත්තට පස්සෙ මම ඉතින් පැය ගානකට නැගිටිනව බොරු. ඒ තරමටම මම මගේ ලැපීදේවියට ආකර්ෂණය වෙලා.
තේ හදන්න වතුර උනුකරගන්න කාමරයෙ තියෙන හීටර් ජෝගුව අරගෙන වතූර කූලර් එක ලඟට යන දයාසිරි ගැන සංවේදී සිතුවිලි රාශියක් මගේ හිතට ගලාගෙන එන්න පටන් ගත්තා.
හඳුනාගත්තු මුල් දවස්වලම තමන් ගැන හැම දෙයක්ම මගෙත් එක්ක දෙඩෙව්ව.
මම කව්ද කියලවත් නොදැන තමන්ගෙ ජීවිතය ගැන ඉතාමත් පෞද්ගලික දේවල් පවා මගෙත් එක්ක කිව්වෙ ඇයි කියල මට හිතාගන්න බෑ.
වයස අවුරුදු 35 කට වැඩි නැති දයාසිරි දුප්පත් කමේ පතුලේම ගිලිල හිටිය පවුලක උපන්න කෙනෙක්. උපන්න දා ඉඳල ජීවිතේ මුහුන දීපු අමිහිරි කටුක අත්දකීම් ඔහුගේ රූපකාය පුරා ඉතුරුවෙලා තිබුනා. ඒ හින්දා ඔහු තුලින් පෙනුනෙ අවුරුදු 45 කට වැඩි පුරුෂයෙක්.දරුවො තුන් දෙනෙක් එක්ක අම්මව අතහැරල වෙන පහසක් හොයාගෙන ගිය තාත්තා කෙනෙක් ලෝකෙට නිර්මානය කරපු තවත් එක දුක්බර කතාවක එන චරිතයකට පන දෙනව දයාසිරි.අපිට අකුරු කියවන්න ලියන්න තේරුම් ගිය දා ඉඳල අහල කියවල දැනගෙන තියන දස දහස් ගනනක් වූ අතිශයින් දුක්බර දුප්පත් චරිත ගොන්නට තවත් එක ශෝකාකූල චරිතයක් එකතු කරන්නට මට වුවමනාවක් නෑ.ඒත් අපි මුහුන දෙන, දකින, විඳවන වැඩි හරියක් එවැනි අද්දැකීම්නම් මොනවා කරන්නද . ඒ ඇත්තට පිටුපාල බොරුව තුල විතරක්ම කරකැවෙමින් ඉන්නට පුලුවන් කමක් නෑ. කටුවෙන් එලියට ඔලුව දාල බැලුවම පේන්න තියෙන දේවල් ගැන නොකිය කොහොමද.?
මිනිසුන් තුල තිබෙන ගුණමකු කමේ බරපතලම සාක්ෂිය මට අහන්න ලැබුනෙ දයාසිරිගෙන්.
දයාසිරිගෙ අය්ය පුංචි කාලෙ ඉඳලම පාසැලේ වැඩ වලින් ඉදිරියෙන්ම හිටිය. ඉගෙන ගන්න තිබුනු දක්ෂකමත් එක්ක ඔහු තුල තිබුන කැපවීම නිසා අම්ම නොවිදිනා දුක් විඳල ඉගැන්නුව. අය්යා විශ්වවිද්‍යාලෙට තේරුන දවසෙ අහිංසක අම්ම ඇඬුව හිතේ සතුට පිටාර ගලන් ගිය හින්ද. ඊටත් වඩා සතුටු වුනේ දයාසිරි.ගෙවුනු කටෝර ජීවිතය පුරාම සතුටක් දැනුන කියල යන්තමටවත් මතකයෙ රැඳිල තියෙන්නෙ එදා දවස විතරමයි. ලොකු කොල්ලට ඉහලට යන්නට උවමනා වියදම දරන්නෙ කොහොමද කියල අම්ම දහඅතේ කල්පනා කරද්දි දයාසිරි අම්මටත් අය්යටත් දෙන්නටම සහනයක් ගෙනවිත් දෙන්නට හිතාගත්තා.සොයුරාගේ ජයග්‍රහනය නිසා හිතට දැනුන උද්දාමය උපරිමයට ලංවුනේ ඒ වනවිට යන්තම් වයස අවුරුදු 12 තරම් වූ පුංචි දරුවෙකුට සිය ලාබාල ජීවිතයේ කලහැකි ඉහලම පරිත්‍යාගය පිලිබඳ තීන්දුවක් අරගෙන.
දයාසිරි සිය පාසැල් ජීවිතයට ආයුබෝවන් කිව්වා සොහොයුරාට මග විවරකරල දීල.
තමන්ට හීනෙන්වත් හිමිකරගන්නට නොහැකි අනුන්ගෙ වාහනයක සුක්කානම කරකැවීම තම රැකියාව හැටියට තෝරගන්නට සිද්ධවුනේ තමන්ට ලැබෙන්න තිබුන අධ්‍යාපනය අය්යා වෙනුවෙන් කැපකල නිසා නේද කියල ඔහු අද සිහිකරන්නෙ ඉමහත් දුකෙන් .
ඔහු කැපකල ඔහුගේ අධ්‍යාපනය පමනක් හිලව් උනේ නෑ අය්යගෙ උපාධියට. විශ්වවිද්‍යාලයෙන් පිටවෙද්දි, මව් උරුමයෙන් ලැබිල අම්මට අයිතිව තිබුන එකම දේපල, පදිංචි නිවස සමග ඉඩම තිබුනෙ උගසෙ.
ඉගෙනීමට වගේම ජීවිතයේ යායුතු දිසාව තෝරාගැනීම පිලිබඳ තිබූ නිසඟ හැකියාව නිසා අය්යා තම ජීවිත සහකාරිය තෝරාගනීමේදී ඉතා හොදින් සංවිධානගත වී සිටියා. පිරිමියෙකු තේරීමේදී යුවතියක් ලඟ තිබෙන සුදුසුකම් ලැයිස්තුවේ අංක එක යටතේ සටහන්ව තිබෙන "කඩවසම් බව" ඔහු තුල උවමනාවටත් වඩා පිහිටා තිබුන නිසා "හය්ය අත්තක්" අල්ලාගැනීම ඔහු සාර්ථකව ඉටුකරගෙන තිබුන.
"අය්ය යාලුවෙලා හිටිය ගෑණු ලමයව අපේ ගෙදරට එක්කගෙන ආවෙ එකම එක දවසයි
උදේම ඇවිල්ල එදාම හවස එයාල ආපසු ගියා"
දයාසිරිගෙ කටහඬ කොහේදෝ ඈතක ඉඳල ඇවිත් මගේ දෙසවන් තුලට ඇතුල්වෙනව වගේ මට දැනුනෙ තේරුම් ගත නොහැකි මිනිස් ජීවිත ගැනම හිතමින් අඳුරු ලෝකයක මම අතරමං වෙල හිටිය හින්ද.
"සේරටම කලින් හොඳ වැසිකිලියක් හදාගන්න ඕනෙ අම්මෙ එයාට මෙහෙ ආවම ඔය ප්‍රශ්නෙ හරියට බලපානවනෙ."
"ඒකනම් ඇත්ත ලොකු පුතේ"
අම්මා ලඟ වැඩිපුර වචන ඉතුරුවෙලා නෑ...ගොලුවෙච්චි හදවතක් විතරයි ඒ වෙද්දි තියෙන්න ඇත්තෙ.
"ඒ වුනාට එදායින් පස්සේ ආයෙ කවදාවත් එයාලෙ අපේ ගෙදර ආවෙ නෑ."
කලකිරීම එක්ක මුසුවුන ශෝකය ඔහුගේ කටහඬ තුල ගැබ් වෙලා.
''අය්ය කසාද බැඳල තියෙන්නෙ පල්ලියෙ. ගෑනු ලමය ක්‍රිස්තියානි නිසා.
අම්මටවත් මටවත් අපේ පවුලේ දුප්පත් කිසිම නෑයෙක්ටවත් ඒ මගුල ගැන කිව්වෙ නෑ. ඉහල පැලැන්තියට අපි ගැලපුනේ නැතිහින්ද වෙන්න ඇති. සමාජයේ ඉහල තැනකට ඔසවා තියන්නට මේ තරම් වෙහෙසුන අපි ඔහු විවාහ වුන බව දැනගත්තෙත් මාස ගානකට පස්සෙ.''
මෙවැනි කතාවක් පොත පතක කියවන්නට වුනානම් මම නිසැකවම හිතන්නෙ ඒක ප්‍රබන්ධයක් කියල. නමුත් දාසිරිගෙ මුවින් පිටව මගේ දෙසවන් තුලින් ඇතුල් වී හදවත වෙලා ගත්තු මේ කතාව තවත් මෙවැනිම සැඟවී පවතින දහසක් කතා අතර තවත් එක් සත්‍ය කතාවක්.
අය්යාගේ ඉගෙනීම වෙනුවෙන් කල මහත් වූ කැපවීම වෙනුවෙන් අම්මට වැටිල ඉන්න තිබුන ගේ වත් බේරල දෙන්න ඕනෙ කියන කෙලෙහි ගුනය පිලිබඳ අවම සිතුවිල්ලවත් අය්යාගෙ සිතට දැනුනෙ නැති එක ගැන දායාසිරි හිතන්නෙ පුදුමයෙන්.
උගස් තියපු ඉඩම කොහොම හරි බේරගන්න ඕනෙ නිසා දයාසිරි රට ආවා. පොඩි නංගි ඒ වෙනකොටත් ලොකු ලමයෙක් වෙලා. රත්තරන් තියා ඉමිටේශන් කෑලලක්වත් අරගෙන දෙන්න තරම් වත්කමක් තිබුන නෑ අම්මටවත් දයාසිරිටවත්.
ඒ නංගිව ගෙනියන්න තමයි දැන් මේ කොල්ලෙක් දෙමව්පියොත් එක්කම ඇවිත් ඉල්ලන්නෙ මේක කෙල්ලගෙ වාසනාව කියල තමයි දයාසිරිගෙ අම්ම මේ කටයුත්තට කැමති වෙලා තියෙන්නෙ.
ඒත් ඇයි මේ කොල්ලගෙ පැත්තෙ අය හදිස්සි කරන්නෙ?.
"කසාදෙ රෙජිස්ටර් කරනව විතරයි. දැන්ම කැන්දාගෙන යන්නෙ නෑ එදාට ගෙදරට එන මනමාලයගෙ පැත්තෙ අයට පුංචියට සංග්‍රහයක් කරනව. එතනදි කතාවක් කරන්නවත් කෙනෙක් නැති හින්ද අම්ම කරන කතාවක් විදිහට ලියල යැව්වොත් කාව හරි දම්මල කියවන්න කියලයි මම හිතුවෙ"
ඒ තමයි දයාසිරිගෙ අහිංසක පැතුම ඉල්ලීමක් හැටියට මගෙ ලඟට ආවෙ.ඉල්ලීම කරල දවස් ගානක් ගතවෙලා තිබුනත් අධික වැඩ රාජකාරි මැද දිනෙන් දින ඒක යටපත් වුනා.මංගල්ලෙට තව සති දෙකයි තියෙන්නෙ කියපු නිසා මම ඉක්මනින් කතාවක් ටයිප් කරල ප්‍රින්ට් කරල දායසිරිට දුන්න තැපැල් කරන්න කියල. මම ඒක දයාසිරිට ඇහෙන්න කියෙව්ව.
මනමාල මහතාගේ මවගෙන් සහ පියාගෙන් අවසරයි.
සහෝදර සහෝදරියනි නෑ මිතුරනි.
පැමින සිටින සියලුම අමුත්තනි,
ඉතාමත් චාම් ලෙස සිද්ධවෙන මෙම විවාහ මංගල්ලයට සහභාගි වීමට අපගේ පුංචි නිවහන වෙත පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ පිලිගන්නවා....
මෙහි පැමින සිටින ඔබ සියලු දෙනාම, අද දිනයේ පටන් අලුතින් එක්වූ ඥාති පරපුරක් හැටියට අපගේ මේ පුංචි පවුලට එකතුවීම ඇත්තෙන්ම අපට මහත් ආඩම්බරයක්. ඒ වගේම එය අප ලැබූ මහත් ගෞරවයක් හැටියටයි අපි සලකන්නේ
එම ආඩම්බරය අපට විඳගන්නට මඟ පාදාදුන් ඔබතුමන්ලාගේ පිංවත් පුතනුවන් හා අපගේ මෙම දයාබර දියනියගේ එක්වීම සනිටුහන් කරන මේ මංගල අවස්ථාවේ මනාලියගේ පාර්ශවයෙන් කෙරෙන පුංචි කතාවක් හැටියටඔබ අමතන්නට මට අවසර දෙන්න.
ලෝකයේ පවතින නීතියට එකඟව වෙලා නෑදෑ සමූහයා ඉදිරියේ කඩදාසියක දෙදෙනෙක් අත්සන් කරලා අඹුසැමියන් ලෙස දිවි ගෙවන්නට ගිවිස ගත්තු පමනින්ම දෙන්නෙක්ගෙ විවාහ ජීවිතය සාර්තක වෙන්නේ නැති බව මේ ලෝකය දිහා ඇස් ඇරගෙන බලා ඉන්න අපිට හොඳ හැටි පෙනෙන්න තියෙන දෙයක්.
එම නිසා අපි හැමෝම එකතු වෙලා අද දින මේ කරපු සුභ කටයුත්ත ජීවිත කාලය පුරාම සාර්ථකව පවතින්නනම් දෙදෙනා විසින්ම එක විදිහටම පිලිපැදිය යුතු වගකීම් සහ යුතුකම් රාශියක් තියෙන බව නිතරම සිහියේ තබාගත යුතුයි.
එයින් පලමු වැන්න හැටියට පිලිපැදිය යුතු යුතුකම හා වගකීම වන්නේ එකිනෙකා කෙරෙහි අද දවසේ මේ මොහොතේ ඔබ දෙදෙනා තුල පවතින ආදර බැඳීම මේ ජීවිත කාලය පුරාම පමනක් නොවෙයි ඊලඟ බවය දක්වාම රැගෙන යන්නට අදිෂ්ඨාන කරගෙන ඒ වෙනුවෙන් ම කැපවී සිටීමයි. දෙදෙනා විසින්ම ඒ වෙනුවෙන් කලයුතු කැපකිරීම අතිවිශාලයි.
තරුන වියේදී යොවුන් සිතක නිරන්තරයෙන් පහලවෙන සිතුවිලි සමඟ අනිකා කෙරෙහි ඇතිවෙන ආකර්ශනය පමනක් ආදරය හැටියට වැරදියට තේරුම් අරගත්තු අය පසු කාලයේ ජීවිත වලට ප්‍රශ්න ඇති කරගන්නවා අපි අනන්තවත් දැකල අහල තියෙනවා.
ඒ නිසා පලමුවවරට එකිනෙකා ඇස ගැටුන දවසේ පටන් අද දක්වා පවතින ඒ ආදර හැඟීම් දිනෙන් දින වර්ධනය කරගෙන කිසිදා පලුදු නොවෙන සිත් දෙකක් ලෙස නොකඩවා රැකගෙන යන බවට දෙදෙනාගේම සිත් තුලින් සපත කරගෙන ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන ලෙස මේ මොහොතේ මම ඔබ දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
එක් අයෙකුගෙන් සිදුවෙන සුලු වැරදි අනිත් කෙනා ඉවසීමත් සාර්ථක ජීවිතයකට අවශ්‍යම දෙයක්.ඒ වගේම දෙදෙනාම දෙදෙනා කෙරෙහි අද දවසේ පවතින විශ්වාසය ඉතාමත් ඉහලින් රැකගතයුතුයි. එකිනෙකා කෙරෙහි අවිස්වාසය ඇතිකර ගැනීම තරම් විවාහ ජීවිත දෙදරා යාමට හේතු වෙන විෂබීජයක් තවත් නොමැති තරම්. ඒ නිසා ඔබ දෙදෙනාම මේවා හොඳින් සිතේ ධාරණය කරගන්න ඕනෙ මේ මොහොතේ සිටම.
දරුවන් දෙදෙනෙක්ව ඔවුන්ගේ අදහස් වලට එකඟව එකතැන් කරන්නට මව් පිය වැඩිහිටියන් හැකි අයුරින් සෑම සියලු දෙයක්ම ඉටු කර දුන්නාට පසුව දරුවන්ගේ ජීවිතවලට ඇතිකරන බලපෑම අවසන් කෙරෙන බව මතක තබාගන්න. එතැන් පටන් ඔබ දෙදෙනා එක්ව යන ගමන් මගේ සියලු බාදක කම්කටොලු මෙන්ම සතුට සොම්නසද දෙදෙනා විසින්ම වගකීම් සහිතව දරාගත යුතු බව හොඳින් මතක තබාගන්න. මෙහි මේ මොහොතේ රැඳී සිටින සියලු දෙනා විසිරී ගියාට පසුව මේ සිදුකල විවාහයේ සියලු වගකිම් උසුලා දරාගෙන ඔබ දෙදෙනාගේ මතු ජීවිතය සාර්ථක කර ගැනීම ඔබ අත පමනක්ම ඉතුරු වෙන බව සිහිපත්කර ගන්න.
මේ ලොකයේ ඉන්න හොඳම දියනිය අපි ඔබතුමන්ලාට අයිති කර දුන්නා කියල මම මේ මොහොතේ කියන්න යන්නෙ නෑ. වයසින් නොමේරූ, මුහුකුරා නොගිය ජීවිත අත්දැකීම් වලින් තවමත් ලාබාල දැරියක් වූ අපගේ දියනිය අතින් සුලු වරදක් හෝ සිදුවුනොත් ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙන් දරු සෙනෙහස සිත්වල දරාගෙන ඇයට සමාව දෙන මෙන් අපි ඔබ තුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.
අපගේ දියනියට අපි හැමදමත් දෙන අවවාදය අද මේ සභාව ඉදිරියේදිත් ලබාදිය යුතුයි කියල මට හිතෙනවා.
කෙනෙකුට මේ ලොකේ තියෙන උතුම්ම වස්තුව වෙන්නෙ තමන්ට මෙලොව එලිය ලබාදුන් තමන්ගෙ අම්මා.
මෙලොවට බිහිකරපු දා ඉඳල වචන වලින් කියල නිම කරන්න බැරි තරම් දුක් කන්දරාවක් උහුලාගනිමින්, සුවහසක් කැපකිරීම් කරල කවල පොවල ලොකුමහත් කරල යහපත් දරුවෙක් හැටියට ලෝකය බලන්න කියල දුන්න ඒ මෑණියන්ට තමන් තුල තියෙන ආදරය,දයාව සහ භක්තිය ඒ ආකාරයෙන්ම අංසු මාත්‍රයකවත් අඩුවක් නොමැතිව තමන්ව විවාහ කරගත්තු ස්වාමි පුරුෂයාගෙ මවටත් ලබා දිය යුතු බවට ඉතා තදින්ම සිතට ගන්නට ඕනෙ. ඒ වගේම එම පියානන් ඇතුලු සහෝදර සහෝදරයින් තමන්ගේම අය විදියට සලකන්නට හිතට අරගන්නට ඕනේ.
එහිම අනිත් පැත්ත ඒ ආකාරයෙන්ම මනමාල මහතාටත් අදාල වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙයි කියල මම හිතන්නෙ නෑ.
මේ කතාව අවසාන කරන්නට පෙර තවත් කාරනයක් මතක් කලයුතුමයි.
අද මෙහි පැමිනි ඔබ තුමන්ලාව පිලිඅරගෙන අපට හැකි අයුරින් කරන ලද ආගන්තුක සත්කාර අතරතුර අපගේ මෙම නිවස තුලදී අප අතින් කුමන හෝ අතපසුවීමක් අඩුපාඩුවක් සිද්ධ වුනානම් ඒ වෙනුවෙන් අපට දහස් වාරයක් සමා වෙන්න කියල මම ඉල්ලා සිටිනවා .
එසේනම් ඔබ දෙපොල අදින් අරඹන අලුත් ජීවිතය සිතූ පැතූ ආකාරයෙන්ම සාර්ථක වී කරන කියන සෑම කටයුත්තකම යහපත් අයුරින් ඉටුවෙන වාසනාවන්ත එකක් වේවායි අපි සියල්ලෝමෙ එකතු වී ප්‍රාර්ථනා කරමු.
මෙම මංගල කටයුත්ත සාර්ථක කරගන්නට අත හිත දීල අද මෙහි පැමිනි ඔබ සෑම සියලු දෙනාටත් අනේක වාරයක් ස්තූති කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් මට නවතින්නට අවසරයි.
තමන්ගෙ එකම නංගි විවාපත්වෙන දවසෙ පිටස්තරයෙකු විසින් කොලයක් බලාගෙන කියවන අන් කෙනෙකු විසින් ලියපු කතාව අහගෙන හිටපු ඔහුගේ මුහුනේ තිබුනේ දුකක්ද,කලකිරීමක්ද, සතුටක්ද කියල මට හිතාගන්න බැරිවුනා.
සිද්ධිය එතනින් අවසන් උනා. දයාසිරි වෙනද වගේම නිතර ආව ගියා මගෙ කාමරයට.
එහෙම ආපු වෙලාවක දයාසිරිගෙ නංගිගෙ මගුල ගැන මට මතක් වුන නිසා ඒ ගැන මම ඇහුව....
"මේ රටේ මලඉලව් තැපෑලනෙ..... මගෙ අතින්ම තැපැල් කරපු ලියුමනෙ ...
ඒක හම්බවෙලා නෑ මහත්තය."
"අපේ රටේ ඉලව් තැපෑලෙන්ද දන්නෙ නෑ ඒක නැතිවුනේ....
මගෙ හිතට එහෙම දැනුනට මම ඒක කියන්න ගියෙ නෑ."