-->

Tuesday, November 22, 2011

අප්‍රාණික වීම


මට පහුගිය ටිකේ මේ පැත්තෙ පැත්තෙ පස් පාගන්න බැරිවුනා...
අනේ මං ගැන අහිතක් හිතන්න එපා. හිටිගමන් නිකම් හිටිය සේරටම හරියන්න ඇරියනෙ කට්ට කන්න අලුත් ප්‍රො‍ජෙක්ට් එකකට. ඔහොම තමයි වැඩ කරන එකාමනෙ තැලෙන්නෙ හැම තැනින්ම. මොනවා කරන්නද අදිනවා හිටු කියල. 
කලින් කොටල නවත්තල ඩ්‍රාෆ්ටුවෙ තිබුන එකක් ඔන්න ඇදල දැම්ම. 
________________________________________________________


සෞදි අරාබියේ රියාද්  වල මගේ කාමරේ.

තප්පරයක්වත් එහාට මෙහාට නොවී හරියට වෙලාවට තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන මගේ එලාම් ඔරලෝසුව මාව ඇහෙරෙව්වා.

 

මට හිතාගන්න බෑ මොකද උනේ කියල .
 

නිදි ඇඳේ ඉඳගෙනම ඇස් දෙක පිහදාල බැලුව මම මේ දකින්නේ හීනයක්ද කියල .
 

නෑ....
 

හීනයක් නොවෙයි. මම මේ ඉන්නේ අවදිවෙලා.
 

දෙයියනේ.....
 

මගේ ඇඳේ මගේ ලඟ හිටිය එයා නෑ.
 

හිත කොයිතරම් කලබල උනාද කිව්වොත්  මගේ සිරුර  අප්‍රාණික වෙලා ගියා. සිහිය විකල් උනා.
 

මම හැමතැනම. හෙව්වා ආ ගියා අතක් නෑ.

කෙනෙකුගේ ජීවිතේ විශාල වෙනසක් සිද්ධ වෙන්න කොයිතරම් කෙටි කාලයක්ද ඕනෙවෙන්නේ.


මගෙත් එක්ක ආපු දවසේ ඉඳල මගේ දුක සැප බලාගෙන මගේ සෙවනැල්ල වාගේ ළඟටම වෙලා හිටිය හැටි දිගින් දිගටම මතක් වෙන්න පටන් ගත්තා.

 

කවදාවත්ම මාව තනි නොකර බලාගත්තේ ඇස් දෙක වාගේ .
මම වැඩ ඉවරවෙලා ඇවිල්ල රෑ මැදියමත් ගෙවෙනතුරු ලැප්ටොප් එකට ඇස් හිරකරගෙන, මම මගේ ලෝකෙට වැදිලා, පිටස්තර ලෝකයේ මට ලෙන්ගතු වුන අයට මම ලංවෙලා ඉද්දි,
මගේ ළඟටම වෙලා ඒ දිහා බලා හිටිය මිසක් කවරදාකවත්  වචනයක් පිටකලේ නෑ.


මම කරන කියන හැමදෙයක්ම නොදැන හිටියාමත් නොවෙයි. මගේ සතුටට ඉඩදී ඒ හැමදෙයක්ම උපේක්ෂාවෙන් බලාහිටිය බව මම දන්නවා.
 

මේ තනි කාමරයෙන් පිට කොහේ කියල දැන් මම හොයන්නද?. 

කාමරයේ වූ  පුටුවේ වාඩිවී, සිදුවෙන්නට ඇත්තේ කුමක්දැයි සිතන්නට මම උත්සාහ කලා.

 

මට හොඳටම මතකයි අවසාන වතාවට ඊයෙ රෑ නිදාගන්න සූදානම් වෙලා ඇඟ පත හෝදගන්න නානකාමරයට ගිහින් මම එලියට එද්දිත් මගේ ලැප්ටොප් එක ලඟට වෙලා බලාගෙන හිටිය. 
හැමදාමත් මම නොවැරදීම අනුන්ට අයිති අනුන්ගේ දුක සැප හොයන්න ලැප්ටොප් එක ලඟ වාඩිවෙන බව දන දැනත් ඒ ඇස් වල අහිතක් ගෑවිලාවත් තිබුනේ නෑ.

මගේ ඔලුව තෝන්තු වෙලා. හිසේ අත් ගසාගෙන තවමත් කල්පනා කරනවා. වැඩට යන්නට වෙලාවත් හරි. තවම මූණ හෝදලත් නෑ තේ බීලත් නෑ.

 

අනුන්ගේ රටක අනුන් යටතේ බාරගත් රැකියාවේ වගකීම්.

දෙයියනේ මම කොහොමද දැන් යන්නේ මගේ රැකියාවට. තව ටිකකින් මගේ පෝන් එකට කෝල්ස් එන්න පටන් ගනීවි.

අප්‍රාණික ගත වාරු කරගෙන බිතිය අල්ලාගෙන මම නාන කාමරයට ගියේ මූණ කට හෝදගන්න ඕන නිසා.

දෙයියන්ට ඔප්පුවෙචාවේ........


මෙන්න එයා බාත් රූම් එකේ....


කොතනද?

මූන බලන කන්නාඩිය ලඟ රැක් එකේ.

වෙනදට කාමරේ ගලවල තියල ගියාට මොකද ඊයෙ රෑ අමතක වෙලා 

ඇඟ හෝදන්න  නාන කාමරයට යද්දි  දාගෙන ගිහින් ගලවල තියපු ගමන්.

මගේ ඇස් කන්නාඩි දෙක.....

Friday, November 18, 2011

නැවතත් " ගෙම්බො "

"මේ කාලෙට වැස්සනෙ...ගෙම්බන්ගෙ සංගීතේ පටන් ගන්න  කාලේ...දිල්ටත් ඇහෙනවා ගෙම්බන්ගෙ බක බක සංගීත නාදේ...එක එක තාලෙට... එක එක තාලේ ගෙම්බන්ගෙන්......"

මගේ පපුව ගැහෙන්න තියාගත්ත ඒ බ්ලොගය කියවද්දී. 
පෙරුම් පුරාගෙන ඉඳල තටමල තටමල මම හදාගත්ත බ්ලොග් එකට දාගත්තේ Desertfrog  කියල නමක්. 

අවරුදු ගානක් තිස්සේ වැලි කතරටම කඹුරලා ජීවිතේ  දියවෙලා ගෙම්බෙක් වගේ වෙච්චි නිසා ඒ නම හොඳටම ගැලපෙනවා කියල හිතාගෙන බොහොම උජාරුවෙන් ඉඳල  බ්ලොගය හිස් අතින්ම එලියට දැම්ම විතරයි. 

මෙන්න මට කෝචෝක්   එකක්.   

"අර කිව්වත් වගේ අපේ අතරත් එක එක තාලේ අමුතු ගෙම්බෝ මොන තරමක් ඉන්නවද...නිකම් ඉන්න බැරුවට බඩ පුම්බලා උඩ පනින උන් ද....කොහෙට හරි වෙලා " බක බක " ගාන උන්ද...ආයෙ ඉතින් ගෙම්බන්ට වෙන වැඩක් තියෙන එකක්යෑ බක බක ගානවට වඩා..... " 

මට හිතාගන්නත් බෑ මේ අවකාසේ එකතුවෙලා ඉන්න කට්ටියට දිවැස් තියෙනවද කියල. 

අවකාසේනේ සැරිසරන්නේ. 

එක එක තාලේ අමුතු ගෙම්බෝ පනින්න පටන් අරන් කියල ඔන්න ගෙම්බෝ ගැනම ලියල දාලනේ. 

"සුන්දර කන්ද උඩරටින්" බ්ලොග් අවකාසේ තරණය කරාපු දලකාරියක් ගෙම්බව චප්ප කෙරුව කියලම තමයි එක පාරටම හිතුනේ. 

මං වගේ බ්ලොග් කන්ද නගින්න පටන් ගත්තු කෝඩුකාරයෙක් කිව්වානම් ඒත් කමක් නෑනේ.  

යකඩ හිතක් තියෙන බොහොම සරල කෙනෙක් වෙච්චි දිල් ඇත්තිගේ ලස්සනට ලියවෙච්චි ලිපි ඒ වෙනකොට කියවන්න පටන් අරගෙන තිබුනේ මම. එව්ව හරිම ආසාවෙන් කියෙව්වෙ. මේ ඉසව්වෙ ජනප්‍රියම චරිතනේ.  
ඒ හින්දමනේ ඒ තරමට බය හිතුනේ.  

ඇත්තටම ඒක හරියට අර ‍කරන්න බැරි දේවල් කරන්න යනකොට දැනෙනවා වගේ බයක්නෙ. 

පිටින් එහෙම දැනුනට හිත ඇතුලෙන් දැනගෙන හිටියනෙ බ්ලොක් ලෝකයේ එකට එක්කාසු වෙලා ඉන්න දැවැන්තයෝ ටික අපි වගේ අයට හැකිපමනින් අතදෙන හිත හොඳ ‍ස‍හෟදයන් පිරිසක් කියල.

ආධුනික අය වුනත් සහෝදර බැම්මකින් බැඳිලනෙ ඉන්නෙ.   

හැමදෙයක්ම වෙන්නෙ හොඳට කියල ගත්තම ඒකත් හොඳයි. දිල් නෝන වගේ ඉදිරි පෙල ක්‍රීඩා කරන පලපුරුදු කෙනෙකගෙ උදව්වෙන්ම ඔන්න මමත් පිටියට බැස්ස. 

කුලුඳුල් පෝස්ට් එක දාන විදිහ හිත හිත ඉන්නකොට එහෙම කෙනෙක්ගෙ අත්වාරුව ලැබුන එකත් ගෙම්බ දියට දාන්නද කියල ඇහුව වගේ එකක්නෙ. ...ආ සොරි සොරි ඒ ඉබ්බ නේ... 

මගේ අම්මෝ මම හිතුවා මම විතරයි ඉන්නේ කියල මේ ලෝකෙටම. බලාන යනකොට ගෙඹි වර්ග 25000 ක් විතර ඉන්නවලු.

දිල් නෝනා එහෙනම් දාගන්න වැලිකතරින් එලියට ආපු වැලිගෙම්බත් එක්ක 25001 ඕං  එහෙනම්.....


ගිහිල්ලම බැලුවනම්..... .එක එක තාලේ අමුතුම " ගෙම්බෝ "


Wednesday, November 16, 2011

ටිකක් ඉන්න....

Desertfrog still on his way. 
he is new to weblog pls give him time. 
normaly frogs are very slow.
ගෙම්බා තවම වැඩ ඉවර නෑ........
මැඬියො සයිබර් ගැන වැඩි යමක් දන්නෙත් නෑනෙ ඉක්මනට එනතුරු චුට්ටක් ඉවසනවද..... ?
Please
 (මැඬියො ඉතින් කොහොමත් හෙමින්නෙ)